Wednesday, November 23, 2011

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි තරුණයා මුහුදු සර්පයකු දෂ්ට කිරීමෙන් මියයයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇම්. ඇස්‌. අමරසිංහ

මීගමුව කොච්චිකඩේ මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයකුට මුහුදු සර්පයකු දෂ්ට කිරීමෙන් මරුමුවට පත්වීමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ ඇත්තේ කොච්චිකඩේ පෝරුතොට පදිංචිව සිටි තාගුර් නිජාබ්දීන් (40) නමැති තිදරු පියෙකි.

මේ සම්බන්ධයෙන් සාක්‌ෂි විභාගය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක එඩ්වඩ් අහංගම මහතා හමුවේ පැවැති අතර එහිදී සාක්‌ෂි දුන් මියගිය අයගේ මිතුරකු වන මොහොමඩ් හනිර් මොහොමඩ් රිත්මි (34) යන අය මෙසේ පැවසීය.

"මියගොස්‌ සිටින්නේ මගේ මිතුරෙක්‌. මොහු මා අවුරුදු දහයක පමණ කාලයක්‌ තිස්‌සේ දන්නවා. ඔහු ත්‍රිරෝද රථ පැදවීමේ යෙදුණා. ඉකුත් 16 වැනිදා සවස 5.30 ට පමණ මා මියගිය අය සමග කොච්චිකඩේ පෝරුතොට මුහුදේ නාන ස්‌ථානයට ගියා. එහිදී අපි සෙල්ලම් කරන්නට වුණා. එසේ සෙල්ලම් කරමින් සිටියදී මියගිය අය කියා සිටියා ඔහුව මාළුවෙක්‌ කෑවා කියලා. පසුව මා ඔහු ත්‍රිරෝද රථයකින් රාගම රෝහලට

රැගෙන ගියා. එම රෝහලින් ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කළා. එම රෝහලේ දී ඔහු මියගියා."

මෙහිදී සාක්‌ෂි දුන් එවීන් රවීන්ද්‍ර මිරැන්ඩෝ (34) යන අය මෙසේ පැවසීය.

"මියගිය අය මත්පැන් ගත්තා. ඉකුත් 16 වැනිදා ඔහු මීගමුව කොච්චිකඩේ මුහුදේ දිය නාමින් සිටියදී මුහුදු සර්පයකු දෂ්ට කර තිබෙනවා. පසුදා (17 වැනිදා) පාන්දර ඔහුට අමාරු වූ නිසා රාගම රෝහලට ගෙන ගියා. එම රෝහලින් ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කළා. එහිදී ඔහු මියගියා."

ඉදිරිපත් වූ සාක්‌ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක අහංගම මහතා මෙම මරණය මුහුදු සර්පයකු දෂ්ට කිරීම නිසා සිදුව ඇති බවත්, එය හදිසි අනතුරක්‌ බවත් නිගමනය කළේය.

කොච්චිකඩේ පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් වයි. ඕ. බී. කුලවංශ (49156) සහ මරදාන පොලිසියේ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‌ෂි මෙහෙයවූහ.


http://www.divaina.com/2011/11/23/news37.html

No comments:

Post a Comment