Saturday, November 26, 2011

මේ වසරේ ජලභීතිකා මරණ 33 ක්‌

ඒමන්ති මාරඹේ

මෙම වසර තුළදී මෙතෙක්‌ ජලභීතිකාව (පිස්‌සු බලු රෝගය) වැළඳුණු සුනඛයින් 414 දෙනෙකුද ජලභීතිකා මරණ 33 ක්‌ද දිවයිනෙන් වාර්තා වී ඇතැයි ජාතික ජලභීතිකා මර්දන වැටසටහන පවසයි.

දැනට දිවයිනපුරා විසිරී සිටින නිවෙස්‌වල ඇති කරන සුනඛයන්ගේ සංඛ්‍යාව හත් ලක්‍ෂ පහළොස්‌ දහස්‌ එකසිය අනූ පහක්‌ද දඩාවතේ යන සුනඛයින්ගේ සංඛ්‍යාව එක්‌ ලක්‍ෂ එක්‌දහස්‌ එකසිය පනස්‌ හයක්‌ බවද අනාවරණය වී තිබේ. මෙරට වැඩි දෙනකු ජලභීතිකා රෝගයට ගොදුරු වනුයේ නිවෙස්‌වල ඇති දැඩි කරන සුනඛයින් විසින් සපා කනු ලැබීම නිසා බව ජලභීතිකා මර්දන වැඩසටහන සඳහන් කරයි.

වසර 2016 දී මෙරටින් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීම සඳහා වන ජාතික සැලැස්‌ම දියත් කිරීම නිමිත්තෙන් පසුගිය 23 දා කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස්‌ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මිය ජලභීතිකා රෝගයට ගොදුරු වූවන් සුව කිරීම සඳහා නිශ්චිත බෙහෙතක්‌ මෙතෙක්‌ සොයා ගෙන නොතිබීම නිසාත් එම රෝගයට ගොදුරු වුවන් මිය යැම නිසාත් තම නිවසේ අයෙකු නිවෙස තුළදී හෝ මහ මඟදී බල්ලෙකු, බළලෙකු හෝ වෙනත් සතෙකු විසින් හපා කෑමෙන් පසු ඒ සඳහා සපා කෑමට ලක්‌වූ අයට වහා එන්නත් ලබා දීමට පියවර ගත යුතු යෑයි සඳහන් කළාය.

ලොව පුරා වාර්ෂිකව 55,000 ක්‌ පමණ දෙනා ජලභීතිකාවට ගොදුරු වන අතර ඔවුන්ගෙන් බහුතරය ආසියාතික කලාපයේ අය බවද ඇය සඳහන් කළාය.

මෙම සම්මන්ත්‍රණය අමතමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය සරත් අමුණුගම හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ යන මහත්ම මහත්මීහු කථා කළහ.

http://www.divaina.com/2011/11/26/news06.html

No comments:

Post a Comment