Sunday, November 27, 2011

රූපලාවන්‍යාගාර රැසක ලියාපදිංචි නැති විලවුන්

ප්‍රභාත් විතාන

රට පුරා ඇති රූපලාවන්‍යාගාර බොහොමයක භාවිතා කරන විලවුන් වර්ග සහ රූපලාවන්‍ය උපකරණ, විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ ලියපදිංචි නොවූ නොවූ ඒවා බව එම අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී හෙළිවී ඇත.

මේ වන විට රට දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් රූපලාවන්‍යාගාර 4000 ක සිදු කර ඇති පරීක්‍ෂා කිරිම්වලදී මෙම විලවුන් සහ රූපලාවන්‍ය උපකරණ සොයාගැනීමට හැකි වූ බව විලවුන් උපකරණ හා ඖෂධ පාන අධිකාරියේ ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

විවිධ වර්ගයේ විලවුන් වර්ග 3600 ක්‌ පමණ විලවුන් උපකරණ හා ඖෂධ පාලන අධිකාරියේ ලියාපදිංචිවී තිබෙන බවත් ඒවාට අමතරව මෙම ලියපදිංචි නොවූ විලවුන් වර්ග සොයා ගැනීමට හැකිවූ බවත් පෙරේරා මහතා කියා සිටියේය.

විදේශගත වූ පුද්ගලයන් තමන්ගේ පෞද්ගලික පරිහරණයට බව පවසමින් විවිධ වර්ගයේ විලවුන් මෙරටට රැගෙන එන බවත් ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේද යන සැකය මෙහිදී මතුවන බවත් කී ඒ මහතා තමන්ට නුපුරුදු, නුහුරු විලවුන් වර්ග මිලදී ගැනීමට පෙර ඒ පිළිබඳව සොයා බලා මිලදී ගැනීමට පාරිභෝගිකයන් කටයුතු කළ යුතු බවත් කියා සිටියේය.

මෙම තත්ත්වය මත ඉදිරියේදී මෙරට තිබෙන සියලුම රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන ශිල්පීන් හා විලවුන් අලෙවි කරන පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ද ආරම්භ කරන බවත් කී අමිත් පෙරේරා මහතා එහි පළමු පියවර කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් ආරම්භ කරන බවත් කියා සිටියේය. එහිදී පවත්වන දේශනවලදී සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, විලවුන් උපකරණ හා ඖෂධ පනත පිළිබඳව නීතිමය තත්ත්වය පිළිබඳ දේශනවලින් ඔවුන්ව දැනුවත් කරන බවත් ඒ මහතා සඳහන් කළේය.


http://www.divaina.com/2011/11/27/news06.html

No comments:

Post a Comment