Saturday, November 26, 2011

කිලෝ 12 1/2 ක්‌ බරැති ඉත්තෑවකු මරා ගෙනයද්දී මහරගම දී දෙදෙනෙක්‌ දැලේ



(මරාදමන ලද ඉත්තෑවා සහ ඉත්තෑවා මැරීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුරාධ මහින්දසිරි මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායම ඡායාරූපයේ වෙති. ඡායා - ප්‍රියන්ත මද්දුමආරච්චි මුල්ලේරියාව)

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රියන්ත මද්දුමආරච්චි සහ උදේනි චන්ද්‍රසිරි - මහරගම

කිලෝ දොළහමාරක්‌ බරැති ඉත්තෑවකු මරා මස්‌ පිණිස ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මහරගම පොලීසිය පෙරේදා (24 වැනිදා) සමත්විය.

මහරගම වැව පාර අසලින් සැකකටයුතු අන්දමින් ගමන්ගත් ත්‍රිරෝද රථයක්‌ නවතා පරීක්‍ෂා කිරීමේදී පොහොර උරයක බහා තිබූ මරාදමන ලද ඉත්තෑවා සොයා ගෙන තිබේ.

මොවුන් මෙම ඉත්තෑවා බොරලැස්‌ගමුව වැව අසල ඇති රක්‌ෂිතයේදී අල්ලා පසුව එම සතාගේ හිසට පොලුවලින් පහරදී මරාදමා ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 28 හා 30 යන වයස්‌වල පසුවන්නන් බවත්, ඔවුන් බොරලැස්‌ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසිය කියයි.

නුගේගොඩ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ මහරගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුරාධ මහින්දසිරි මහතාගේ උපදෙස්‌ මත දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ සැරයන් ලසන්ත (22705) මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන වසන්ත (54478) සම්පත් (73030) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

බළන්ගොඩ රත්නපුර මාර්ගයේ හුනුවල ප්‍රදේශයේදී අනවසර දැව තොගයක්‌ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක්‌ සහ සැකකරුවන් තිදෙනකු බළන්ගොඩ අඩවි වන නිලධාරීන් පිරිසක්‌ විසින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

මේ පිළිබඳව එම්. කේ. ජයවර්ධන නිලමේ සහ එම්. ජී. සමන් ප්‍රභාත් යන සැකකරුවන් දෙදෙනා වරද පිළිගත් හෙයින් එක්‌ අයකුට රුපියල් 35,000 ක්‌ බැගින් දඩ ගෙවන ලෙස නියෝග කළ බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු අරුණි ආටිගල මහත්මිය, වාහනයේ හා දැවවල හිමිකරුවන රුපියල් දස දහසක මුදල් ඇපයක්‌ සහ ශරීර ඇප ලක්‍ෂ දහයක්‌ මත මුදාහැර ලබන ජනවාරි 20 දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී. මෙම දැව තොගය හා වාහනය අධිකරණය භාරයට ගෙන ඇති අතර දැව තොගය රාජ්‍ය දැව සංස්‌ථාවට භාරදීමට කටයුතු කිරීමටද නියම කෙරිණි.

රත්නපුර දිසා වන නිලධාරී පාලම් කුඹුර සහ බළන්ගොඩ අඩවි වන නිලධාරී කේ. ඒ. ඩී. පී. ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස්‌ පරිදි බළන්ගොඩ අඩවි වන නිලධාරිහු පිරිසක්‌ මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගනු ලැබූ ලොරිය හා දැව තොගය වැටලීමට සම්බන්ධ නිලධාරීන් කීප දෙනෙකු විසින් පරීක්‍ෂා කරනු ලබන අයුරු මෙම ඡායාරූපයෙන් දැක්‌වේ.

සටහන හා සේයාරුව - බළන්ගොඩ - එන්. එච්. පියසේන


http://www.divaina.com/2011/11/26/provin02.html

No comments:

Post a Comment