Monday, July 4, 2011

Cancer drugs, found in stores

වටිනාකම රු.කෝටි 27 යි - බලධාරීන් නෑ කියූ එන්නත් පිළිකා රෝහලේ ගබඩාවේඇමැති උපදෙසින් ගබඩාව සීල් තබා පරීක්‍ෂණ අරඹයි
අජිත් අලහකෝන්
අසාධ්‍ය තත්ත්වයේ පසුවන පිළිකා රෝගීන්ට ලබාදෙන රුපියල් කෝටි 27 ක්‌ වටිනා එන්නත් තොගයක්‌ එම රෝගීන්ට ලබා නොදී මහරගම පිළිකා රෝහලේ ගබඩාවේ ගොඩ ගසා තිබියදී වෛද්‍ය සැපයීම් අංශය විසින් පසුගියදා සොයාගෙන ඇත.

එකක්‌ රුපියල් 245,000 ක්‌ පමණ වටිනා මෙම එන්නත් තොගය ගබඩාවේ තිබියදීත් රෝහල් බලධාරීන් රෝගීන්ට පවසා ඇත්තේ තමන් සතුව අදාළ ඖෂධය නොමැති බව යෑයිද මේ අනුව ඔවුන් විසින් එකී ඖෂධය හිඟ බවට ව්‍යාජ මතයක්‌ පතුරුවා ඇතැයිද වෛද්‍ය සැපයීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත මහරගම පිළිකා රෝහලේ මෙම ගබඩාවට වෛද්‍ය සැපයීම් අංශය විසින් මුද්‍ර තබා ඒ පිළිබඳ විමර්ශනයක්‌ කර තිබේ. ඒ අනුව අදාළ එන්නත් තොගය තවත් වසර දෙකකට පමණ ප්‍රමාණවත් බවත්, තමන්ට එම කාලය තුළ අදාළ ඖෂධය අවශ්‍ය නොවන බවත්, මහරගම පිළිකා රෝහලේ බලධාරීන් ප්‍රකාශ කර ඇත.

සාමාන්‍යයෙන් එක්‌ පිළිකා රෝගියකුට වසරක කාලයක්‌ සඳහා අවශ්‍ය රුපියල් කෝටි ගණනක්‌ වටිනා ඖෂධ මිලට ගැනීම සඳහා තමන් සතියකට ලිපි ගොනු එකසිය පහළොවකට අත්සන් තබන බව ද මෙවැනි තත්ත්වයක්‌ තුළ පිළිකා රෝහලේ ඖෂධ හිඟවන්නේ කෙසේදැයි සොයා බලන ලෙසටද ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා වෛද්‍ය සැපයීම් අංශයට නියම කර ඇත. ඒ අනුව සොයා බැලීමේදී රුපියල් කෝටි 27 ක්‌ වටිනා මෙම එන්නත් තොගය මහරගම පිළිකා රෝහලේ ගබඩාවේ ප්‍රයෝජනය නොගෙන ගබඩාකර තිබියදී සොයාගෙන තිබේ.

අදාළ එන්නත් ගබඩාව තුළ තිබියදීත් එම ඖෂධය තමන් සතුව නැතැයි පිළිකා රෝහලේ බලධාරීන් විසින් රෝගීන්ට ප්‍රකාශ කරමින් ඒවා ලබා නොදීම හිත්පිත් නැති ක්‍රියාවක්‌ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.



Source: http://www.divaina.com/2011/07/04/news01.html

No comments:

Post a Comment