Thursday, December 1, 2011

නලයක්‌ සිදුරු වෙලා මහවත්තට තෙල් ගලයි

අපතේ ගිය ඉන්ධනවල වටිනාකම හිතාගන්නත් බැරිලු!

ශිරාන් රණසිංහ

කොළඹ වරායේ සිට බ්ලූමැන්ඩල් මහවත්ත හරහා ඇති ඉන්ධන නල පද්ධතියක ඇතිවී තිබෙන සිදුරුවලින් පෙරේදා (29 වැනිදා) සිට රුපියල් ලක්‍ෂ ගණනක්‌ වටිනා ඉන්ධන ගලා යමින් තිබෙන අතර මෙම ඉන්ධන ගලා යන සිදුරු වසා ගැනීමට නොහැකිව ලංකා ඛනිජ තෙල් සංස්‌ථා නිලධාරීහු බරපතළ අර්බුදයකට ලක්‌ව සිටිති.මෙම ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට අයත් ඉන්ධන ද නොඑසේ නම් නැව් තෙල් සමාගමට (ඡේසීටී) අයත් ඉන්ධන ද යන්න පවා ගැටලුවක්‌ වී ඇතැයි තෙල් සංස්‌ථා නිලධාරීහු "දිවයින"ට පැවසූහ.

ඊයේ (30 වැනිදා) සවස්‌ වනතුරුම අපතේ යන මෙම ඉන්ධන කාගේදැයි යන්න තහවුරු කරගෙන නොතිබිණි.

කාන්දු වන ඉන්ධන නලය මතු කර සිදුරු වසා දැමීමට බ්ලූමැන්ඩල් සහ මහවත්තේ පිහිටි නිවාස නිසා නොහැකිව ඇතැයිද වරාය තෙල් පහසුකම් අංශයේ නිලධාරීහු පවසා ඇත.

කොළඹ වරාය තෙල් පහසුකම් අංශයේ නිලධාරීන් පැමිණ අසල ඇළ මාර්ගයට ගලා ගොස්‌ ඇති ඉන්ධනවල සුවඳින් ඒවා ඩීසල් යෑයි උපකල්පනය කර ඇතැයි ද තෙල් සංස්‌ථා ප්‍රකාශකයෙක්‌ කීවේය. සුවඳින් නොව සාම්පල් ගෙන වහාම පරීක්‍ෂා කරන්න යෑයි තෙල් සංස්‌ථා නිලධාරියකු අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දී ඇත.

කොළඹ වරායට පැමිණ ඇති පෙට්‍රල් හා ගුවන් තෙල් නෞකාවකින්, කොළොන්නාවට තෙල් ගොඩබාමින් තිබෙන බැවින් කාන්දුවන ඉන්ධන කාට අයත් ඒවාදැයි යන්න සෙවීම ගැටලුවකැයි කොළඹ වරාය තෙල් පහසුකම් අංශයේ නිලධාරීන් තෙල් සංස්‌ථා ප්‍රධාන කාර්යාලයට වාර්තා කර ඇත.

දැනට කාන්දු වී ඇළට එකතු වන ඉන්ධනවල වටිනාකමද සිතාගත නොහැකි බව ද සංස්‌ථා නිලධාරීහු අප කළ විමසීමේදී කියා සිටියහ.

වරාය හා කොළොන්නාව අතර ඉන්ධන නල පද්ධතිය වසර හැත්තෑවක්‌ පමණ පැරැණි යෑයිද සංස්‌ථා නිලධාරියෙක්‌ කීවේය. මෙම නල අඟල් දහයක විශ්කම්භයකින් සමන්විත බවත් (ජරදිs ජදමබඑරහ චසචැ කසබැ චරදවජැඑ) යටතේ 2007 ආරම්භ කළ පයිප්ප අලුත්වැඩියා ව්‍යාපෘතිය ද 2009 දී නතර කර දැමූ බවද සංස්‌ථාව පවසයි.

කොළඹ වරායේ සිට කොළොන්නාව දක්‌වා දිවෙන මෙම නල පද්ධතිය කල් ඉකුත් වී සිදුරු වී ඉන්ධන අපතේ යැම සාමාන්‍ය දෙයක්‌ යෑයිද යකඩ කලම්ප හා රබර්, ලී කැබැලි ගසා ඒවා වසා දැමීමට සංස්‌ථාවට සිදුව ඇතැයි ද එහි සේවකයෝ කියති.

කොළඹ වරායට ඉන්ධන නෞකාවක්‌ පැමිණි විට ඉන්ධන ගොඩබෑම ඉතා සෙමෙන් කිරීමට සිදුවී ඇති බවත් සාමාන්‍ය වේගයෙන් නලවලට ඉන්ධන නිකුත් කළහොත් නල පිපිරී ගොස්‌ මහා විනාශයක්‌ සිදුවන බවත් ඔව්හු පෙන්වා දෙති.

මේ නිසා මෙරටට ඉන්ධන සපයන සමාගම් ටෙන්ඩර් කැඳවූ විට මෙරටට නොඒමේ ප්‍රවණතාවක්‌ මතුව ඇතැයි ඔව්හු කියති.

දින දෙකකින් ගොඩබෑමට හැකි ඉන්ධන දින හතක්‌ පමණ තිස්‌සේ ගොඩබෑමට සිදුවීමෙන් අමතරව සංස්‌ථාවට විශාල මුදලක්‌ වැය වන බවත් වහාම මෙම ඉන්ධන නල පද්ධතිය යාවත්කාලීන නොකරන්නේ නම් බරපතළ විනාශයක්‌ ළඟදීම සිදුවනු ඇති බවත් කීහ.

යම් හෙයකින් වරාය හා කොළොන්නාව ඉන්ධන නල පද්ධතිය විනාශ වී ගියහොත් මෙරටට ඉන්ධන සැපයීම නැවතී බරපතළ අවුලක්‌ නිර්මාණය වීම සිදුවනු ඇති බවත් සේවකයෝ පෙන්වා දෙති. මේ පිළිබඳව මොන තරම් පැමිණිලි කළත් වගකිවයුත්තෝ කිසිදු පියවරක්‌ නොගන්නා බවද තෙල් සංස්‌ථා නිලධාරීහු "දිවයින" ට පැවසූහ.

http://www.divaina.com/2011/12/01/news03.html

No comments:

Post a Comment