Saturday, January 7, 2012

එප්පාවල පොස්‌පේට්‌ ඉල්ලුම ඉහළට

එප්පාවල- රත්න බී. ඒකනායක

එප්පාවල පොස්‌පේට්‌ ඉල්ලුම පසුගිය මාස කීපය තුළ විශාල ලෙස ඉහළ ගොස්‌ ඇතිබව පොස්‌පේට්‌ සමාගමේ සභාපති අද්මිරාල් දයා සඳගිරි මහතා පැවැසීය. කොළඹ පොහොර සමාගම්වල මෙටි්‍රක්‌ ටොන් 30 ක්‌ පමණ පැටවිය හැකි ලොරි 12 ක්‌ 15 ක්‌ පමණ දිනපතා පැමිණෙන නමුත්, පොස්‌පේට්‌ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවය අනුව දිනකට ලබා දියයෑක්‌කේ ලොරි හතකට ප්‍රමාණවත් වන මෙටි්‍රක්‌ ටොන් 210 ක්‌ පමණ යෑයි පැවැසූ සභාපතිවරයා සිල්ලර ගැනුම්කරුවන් හයදෙනකුටද ටොන් පහ බැගින් නිකුත් කරන බව පැවැසීය.

එප්පාවල පොස්‌පේට්‌වල පවත්නා ගුණාත්මකභාවය වඩාත් ඵලදායී නිසා මෙසේ ඉල්ලුම ඉහළගොස්‌ ඇතත් එප්පාවල පොස්‌පේට්‌ කර්මාන්තයේ දිනක උපරිම පොස්‌පේට්‌ නිෂ්පාදනය මෙටි්‍රක්‌ ටොන් 240 ක්‌ පමණ වන්නේ යෑයිද පැවැසීය.

ඉල්ලුම කෙතරම් ඉහළ ගියත් ආයතනයේ පවත්නා ගල් අඹරන යන්ත්‍ර තුනෙන් මීටවඩා දෛනික නිෂ්පාදනයක්‌ කළ නොහැකි බවද සභාපතිවරයා අනාවරණය කළේය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා මෙසේ පැවැසීය.

අතිවිශාල ඉල්ලුමක්‌ කියන්නෙ විශාල ලෙස ආදායම් ඉපැයීමක්‌. නමුත් පවත්නා ගල් අඹරන යන්ත්‍ර තුනේ ධාරිතාවය අනුව වැඩි නිෂ්පාදනයක්‌ කරන්න බෑ. ඒ නිසා අධික ඉල්ලුමට විසඳුමක්‌ වශයෙන් ගල් අඹරන මැෂිමක්‌ තාවකාලිකව කුලියට ගැනීමට සැලසුම් කරගෙන යනවා. මේ අතර මෙම නිෂ්පාදන ගැටලුවට ස්‌ථිර විසඳුමක්‌ වශයෙන් දිනකට මෙටි්‍රක්‌ ටොන් 100 ක්‌ පමණ නිෂ්පාදනයක්‌ ඇති ගල් අඹරන විශාල මැෂිමක්‌ ගැනීමට තීරණය කර තිබෙනවා. මේ මැෂිම සවිකළායින් පස්‌සෙ දිනක ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක්‌ කරන්න පුළුවන්. එය එක එල්ලේම ආයතනයේ ආදායම වැඩිවීමට හේතුවක්‌ වෙනවා.මේ යන්ත්‍ර සවි කිරීමෙන් පසු ගල් කැඩීමට සහ එක්‌රැස්‌ කිරීමට අපට තව කම්කරු පිරිස්‌ අවශ්‍ය වෙනවා. එවිට ප්‍රදේශයේ අයගෙන් අපි තවදුරටත් කම්කරු පිරිස්‌ බඳවා ගන්නවා. එප්පාවල පොස්‌පේට්‌ ආයතනයේ කම්කරුවන්ට මාසිකව රුපියල් 35,000 ක තරම් වැටුපක්‌ ලැබෙනවා.

අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කළාම අපි තීරණය කරලා තියෙනවා දැයට කිරුළ වැඩ සටහන යටතේ ඔයාමඩුවේ පොහොර නිෂ්පාදන කම්හලක්‌ ආරම්භ කරන්න. දැනට අපි කරන්නෙ පොස්‌පේට්‌ ගල්කුඩු විකුණන එක විතරයි. නමුත් දේශීය අවශ්‍යතා සඳහා අපි පොහොර නිෂ්පාදනයට යන්න ඕන. තේ, රබර්, පොල්, කුරුඳු වැනි පොහොරවල සියේට හැටක්‌-හැත්තෑවක්‌ තියෙන්නෙ පොස්‌පේට්‌. ඉතිරිය යූරියා සහ එම්.ඕ.පී. ඉතින් අපට තියෙන්නෙ අනුමත මිශ්‍රණයට පොහොර හදන එක විතරයි. එප්පාවලින් පොස්‌පේට්‌ ඔයාමඩුවට ප්‍රවාහනය කරල එහිදී අනිතුත් රසායනික පොහොර මිශ්‍රකරලා - අපේ රටේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය පොහොර නිෂ්පාදනය කරන්න තීරණය කරල තියෙනවා. මෙය අපේ සමාගමේ ලොකු ඉදිරි පිම්මක්‌. අපේ රටේ වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදනය කිරීමට අමතරව වී සහ එළවළු වගාවට අවශ්‍ය ටී.එස්‌.පී. (ත්‍රිපල් සුපර් පොස්‌පේට්‌) පොහොර අපේ රටේදීම නිෂ්පාදනය කිරීම සඳහා දැනටමත් කැබිනට්‌ අනුමැතිය ලබාගෙන විදේශ රටවලින් ටෙන්ඩර්පත් කැඳවා තිබෙනවා.

ටී.එස්‌.පී. පොහොර නිෂ්පාදනයට ලොකු තාක්‍ෂණික දැනුමක්‌ ඕන. ඒ නිසයි පළපුරුදු රටවලින් අපි ටෙන්ඩර් කැඳවලා තියෙන්නෙ.

මේ රටේ විදේශ විනිමය බිලියන 14 ක්‌ පමණ ටී.එස්‌.පී. පොහොර ලබාගැනීමට පිටරට වලට ඇදී යනවා. මේ පොහොර වර්ගය මිල අධිකයි. කිලෝ 50 ක මිටියක්‌ රුපියල් 5,000 ක්‌ පමණ වෙනවා. ඒ නිසා අවුරුදු පතා විශාල මුදලක්‌ පිටරටට ඇදී යනවා.

එප්පාවල පොස්‌පේට්‌ කර්මාන්ත ආයතනයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සභාපති අද්මිරාල් දයා සඳගිරි මහතා මේ තොරතුරු අනාවරණය කළේය.


http://www.divaina.com/2012/01/06/provin04.html

No comments:

Post a Comment