Tuesday, January 10, 2012

සංවර්ධනයේදී වෙරළ තීරය භාවිතය ප්‍රවේශමෙන්

ජගත් කණහැරආරච්චි -

අනුර බාලසූරිය

ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ සම්පත වර්තමානයේදී ඉතාමත් සීමාසහිත තත්ත්වයකට පත්ව ඇති බැවින් සංවර්ධන කටයුතුවලදී වෙරළ තීරය ප්‍රවේශමෙන් භාවිත කළ යුතුව ඇතැයි වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පැවසීය.

"ශ්‍රී ලංකාව වටා ඇති සමස්‌ත වෙරළ තීරයේ දිග කිලෝමීටර් 1520 යි. මුහුදු ඛාදනය හේතුවෙන් මෙයින් කිලෝමීටර් 267 ක්‌ ගල්වැටි දමා සංරක්‍ෂණය කරනවා. තවත් කිලෝමීටර් 350 ක්‌ පවතින්නේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනජීවී රක්‍ෂිත ලෙසයි. කඩොලාන, වැලිකඳු වැනි සංවේදී පරිසර පද්ධති සංරක්‍ෂණය සඳහා තවත් කිලෝමීටර් 280 ක්‌ වෙන්කර තිබෙනවා.

සංචාරක ව්‍යාපාරයට කිලෝමීටර් 40 ක්‌ද, ධීවර වරාය සහ නැංගුරම්පළ සඳහා තවත් කිලෝමීටර් 14 ක්‌ ද අඩු කළ පසු ඉදිරි සංවර්ධන කාර්යයන් සඳහා ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 569 ක සීමිත මුහුදු වෙරළක්‌" යෑයි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත්දා (07 දා) ගාල්ල වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මේ තත්ත්වය මත ඉදිරි සංවර්ධන කාර්යයේදී අපට සීමිත වෙරළ කලාපයක කටයුතු කිරීමට සිදුවන බව තරයේ සිත්හි තබාගත යුතු බව ද, රාජ්‍ය සැලසුම් අනුව 2015 වන විට ධීවර හා නැංගුරම්පළ කටයුතු දෙගුණ කිරීමට ගෙන ඇති තීරණය ද සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය ද සැලකීමේදී වෙරළ කලාපය පිළිබඳ බරපතළ අර්බුදයක්‌ ඇතිවන බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එබැවින් පවතින වෙරළ තිරසාර අයුරින් භාවිතයට ගැනීම අද දවසේ පළමු කාර්යය බව ද ඔහු පෙන්වා දුන්නේය.


http://www.divaina.com/2012/01/10/news09.html

No comments:

Post a Comment