Friday, December 2, 2011

ඩෙංගු පැතිරීමේ අවදානමක්

සන්ධ්‍යා කරුණාරත්න

මේ දිනවල පවතින දැඩි වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය පැතිරයාමේ වැඩි අවදානමක් රට පුරාම පවතින බව කීටවිද්‍යා සමීක්ෂණවලින් හෙළි වී ඇත.

කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කීටවිද්‍යා අංශය මඟින් නොවැම්බර් මාසය සඳහා කළ කීටවිද්‍යා සමීක්ෂණ වාර්තාවලින් මේ බව හෙළි වී තිබේ.

රට පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම ලබාගත් දත්ත පරීක්ෂාවට ලක් කිරීමෙන් පසුව නැවතත් මෙසේ ඩෙංගු රෝගය වසංගතයක් ලෙස රට පුරා පැතිර යාමේ අවදානමක් පවතින්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

සියලු දෙනාගේම කැපවීමෙන් යුතුව පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු සිදු නොකළහොත් ඩෙංගු රෝගය යළිත් හිස එසවීමේ අවදානමක් පවතියි.

නිවෙස් හා අවට පරිශ්‍රයන් ද, රජයේ හා පෞද්ගලික කාර්යාල හා ආයතනවල ද මදුරුවන් බෝවිය හැකි ස්ථාන නිතිපතා ඉවත් කිරීමට හා විනාශ කිරීමට පියවර ගන්නා ලෙසත්, මේ කටයුත්ත සමාජ වගකීමක් සේ සලකා ඉටු කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ මාසයේ ඉදිරි දින කිහිපය තුළ තුන්වන වාරයේ පාසල් නිවාඩුව ආරම්භ වේ. පාසල් වසා දැමීමෙන් පසු ඒවා විධිමත් පරිදි මාසයක පමණ නිවාඩු කාලයක් පවිත්‍ර කිරීමට කටයුතු නොකරන නිසා එම ස්ථාන ඩෙංගු මදුරුවන් බහුල ස්ථාන බවට පත්විය හැකිය.

එම නිසා පාසල් නිවාඩුවට පෙර සියලුම පාසල් හොඳින් පිරිසිදු කර මදුරුවන් බෝ විය හැකි ස්ථාන තිබේ නම් ඒවා විනාශ කර දමන ලෙස ද සෞඛ්‍ය අතිරේක ලේකම්වරයා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියි. කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් රජයේ රෝහලකට ගොස් වහාම ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද මහජනතාවට දැනුම්දෙයි.


http://www.dinamina.lk/2011/12/02/_art.asp?fn=n11120212

No comments:

Post a Comment