Sunday, January 8, 2012

පොහොර සහනාධාරය ලබා දීමෙන් පසු රුපියල් බිලියන 13000 ක වී අස්වැන්නක් අරන්

මාධ්‍යවේදින්ට පැළ ලබාදීමේ උත්සවයේදී කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා පවසයි

නිහාල් පි.අබේසිංහ

2005 වසරේ පොහොර සහනාධාරය ලබා දීමෙන් පසු බිලියන 13000 ක් වටින වී අස්වැන්නක් ලබාගෙන ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එසේ වුවත් රජය වසරකට පොහොර සහනාධාරය ලෙස ලබාදී ඇත්තේ රුපියල් කෝටි 500 ක් බවත් ඇමැතිවරයා පැවසීය. ඇමැතිවරයා ඒ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ එම වසරේ ප්‍රථම රාජකාරිය ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා මාධ්‍යවේදින්ට පැළ බෙදාදීම පිණිස සංවිධානය කළ සුහද හමුවේදීය.

ඇමැතිවරයා එම උත්සවේදි මෙසේද පැවසීය.

”මාධ්‍යවේදින් යනු රටක ප්‍රධාන කණ්ඩායමක්. ඒ අයට පහසුකම් සැලසීම අපේ යුතුකමක්. අපි පිළිබඳ විවේචන එල්ල කළාට අපි තරහා නැහැ. අපි ඒවායින් ඉදිරියට යනවා.

අපේ රට දැන් අවුරුදු 2 ක ඉඳලා සහල්වලින් ස්වයංපෝෂිත වෙලා තිබෙන්නේ. මාස 7 කට අවශ්‍ය ආහාර ගබඩා කර තිබෙනවා.

අපි අද මාධ්‍යවේදින්ට පැළ බෙදා දෙන්නේ ඔවුන් කරන කාර්ය භාරය අගය කිරීමටයි. එය පැළයේ වටිනාකමට වඩා වැඩි දෙයක්” බවද ඇමැතිවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, පෞද්ගලික හා රාජ්‍යය මාධ්‍ය ආයතනවල ප්‍රධානිහු ද මාධ්‍යවේදිහු ද මෙම අවස්ථාවට එක්වූහ.

මාධ්‍ය ආයතනවලට ද කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පැළ බෙදා දීම සිදු කළේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් වජිර කොඩිතුවක්කු මහතා මෙම උත්සවය සංවිධානය කළේය. ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදින්ට ද අමාත්‍යාංශය අඹ හා රඹුටන් පැළ පිරිනැමීය.


http://www.silumina.lk/2012/01/08/_art.asp?fn=aa12010814

No comments:

Post a Comment