Thursday, December 8, 2011

බුත්තල රජ මාවතේ 15 කණුව ප්‍රදේශයේ අලි වැට කඩා වැටී වසර දෙකයි

ගොවි පවුල් අටසීයකට පීඩා

බුත්තල රජ මාවතේ පහළොවේ කණුව ප්‍රදේශයේ ගම්වාසීන් වන අලි උවදුරෙන් ගලවා ගැනීම සඳහා ඉදිකරන ලද විදුලි වැට කඩා වැටී වසර දෙකක පමණ කාලයක් ගතවී ඇත. මේ නිසා වන අලින් නැවතත් ගම්වැදීමට පටන් ගෙන ඇතැයි පහළොවේ කණුව ප්‍රදේශවාසීහු “දිනමිණ” ට පැවසූහ.


බුත්තල රජ මාවත සමීපයට පැමිණ ඇති වනඅලි රැළක්


ගම්වාසීන්ගේ ශ්‍රමයෙන් කිලෝමීටර් හයක් පමණ දුරට ඉදිකළ මේ විදුලි වැටට විදුලි බලය නොදීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ.

මේ නිසා පහළොවේ කණුව, දාසයේ කණුව, දාහතේ කණුව, බුදුගල්ලෙන ආදී ප්‍රදේශවල ගොවි පවුල් අටසීයක් පමණ වන අලි උවදුරට ගොදුරු වී සිටිති.

මේ පිළිබඳ අදහස් දැක්වූ බුත්තල රජ මාවතේ පහළොවේ කණුවේ පදිංචි ජී. පී. ආරියසේන ගොවිමහතා මෙසේ කීය.

මේ ප්‍රදේශය යාල ජාතික වනෝද්‍යානයට ආසන්නයේ තිබෙන නිසා වන අලින් දිනපතාම ගමට එනවා. දැනට නිවාස කීපයකටම පහර දීලා කඩා දමලා. පුද්ගලයින් තුන්දෙනකු පමණ අලින්ට බිලිවූවා. වසර දෙකකට පමණ පෙරදී ගමේ අය මාස ගණනාවක් විදුලි වැට හදන්න වෙහෙසුණා. එහෙත් විදුලි වැටට විදුලි බලය දුන්නේ නෑ.

මේ නිසා වැට අලි කඩා දැම්මා. දිනක් අඳුර වැටීගෙන එද්දී මම බයිසිකලය පැදගෙන ආවා. වංගුවේ දී මගේ බයිසිකලය අලියකුගේ හැපුණා. බයිසිකලය දමා දිව්වා.

අපි දරුවන් සමඟ ඉන්නේ බයෙන්. විදුලි වැට යළි ගොඩනඟා විදුලි බලය සපයා දී අපට ආරක්‍ෂාව දෙන්න ඉල්ලා සිටිනවා.


සටහන හා ඡායාරූප
මොනරාගල සමූහ
කේ. බී. රත්නායක

http://www.dinamina.lk/2011/12/08/_art.asp?fn=r1112086

No comments:

Post a Comment