Thursday, December 8, 2011

සිංහරාජයේ පාර ඉලුඹකන්දට පමණයි!

වජිර ධර්මවර්ධන

පසුගිය දිනවල පරිසර ක්‍ෂෙත්‍රයේ මහත් ආන්දෝලනයට ලක්‌ වූ සිංහරාජ වනාන්තරයේ නැඟෙනහිර කොටසේ ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා වූ යෝජිත මාර්ගයේ ඉදිකිරීම නවතා දැමීමට රජය තීරණය කර අතැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය සතියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ යෝජිත මාර්ගය පිළිබඳන උපදෙස්‌ ලබා ගැනීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනුව ය. මහාචාර්ය නිමල් ගුණතිලක, ආචාර්ය ගාමිණී හිටිනායක, ලෝක සංරක්‍ෂණ සංගමයේ හා වන සංරක්‌ෂක දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් ගෙන් සමන්විත වූ මේ කමිටුව යෝජිත මාර්ගය ඉදි කළ හොත් නැඟෙනහිර සිංහරාජ පෙදෙසේ ජෛවවිවිධත්වයට සිදු විය හැකි බලපෑම එකී නිර්දේශ ඇතුළත් කර නිකුත් කර ඇති වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

ඉලුඹකන්ද ගම්වාසීන් ගේ සමාජ ආර්ථික කටයුතු පහසු කරනු වස්‌ පොතුපිටියේ සිට ඉලුඹකන්ද දක්‌වා මේ වන විටත් පවතින මාර්ගය සංවර්ධනය කිරීම පමණක්‌ යෝජිත ව්‍යපෘතිය යටතේ යෝග්‍ය බව එම වාර්තාව අවධාරණය කර ඇත. මාර්ගයේ දෙවැනි කොටස වන ඉලුඹකන්දේ සිට බම්බුමලේ දක්‌වා වූ කොටස ජෛවවිද්‍යාත්මක වශයෙන් ඉතා වැදගත් බිම් පෙදෙසක්‌ හරහා ගමන් කරන බව පෙන්වා දෙන වාර්තාව දැනට ජාතික උරුම වන භූමියක්‌ ලෙස නම් කර තිබෙන සිංහරාජ වනාන්තරයේ ආරක්‍ෂිත පෙදෙස හා නැඟෙනහිර සිංහරාජයේ ජෛවවිවිධත්වයෙන් ඉතා ඉහළ වනාන්තර යා කරන සුවිශේෂ බිම් කඩක්‌ ලෙස ද ඒ ප්‍රදේශය හඳුන්වා දී ඇත. දැනට ලොව කොතැනකින් වත් වාර්තා නො වන ජීවී විශේෂ 17ක්‌ මේ පෙදෙසින් වාර්තා වී ඇති බව පෙන්වා දෙන විශේෂඥ වාර්තාව, සිංහරාජ වනාන්තරය අවට වූ ජෛවවිවිධත්වයෙන් ඉහළ වැසි වනාන්තර කුට්‌ටි ඉතිරි ව ඇති බිම් පෙදෙස්‌ සියල්ල වහා ම රජය යටතට පවරාගෙන දැනට පවතින සිංහරාජ ලෝක උරුම වන භූමියට ඈඳීමට කටයුතු කළ යුතු බව ද නිර්දේශ කර සිටී.

නැඟෙනහිර සිංහරාජයේ වනාන්තර වෙත ඉතා අහිතකර ලෙස බලපෑ හැකි ව තිබූ මේ මාර්ගය පිළිබඳව ජනතාව ගේ හා වගකිවයුත්තන් ගේ අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය වැදගත් වැඩ කොටසක්‌ ඉටු කළ අතර විශේෂඥ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා කටයුතු කළ හොත් එය මෙරට ජෛවවිවිධත්ව සංරක්‍ෂණයේ වැදගත් පියවරක්‌ සනිටුහන් කරනු ඇත.

http://www.vidusara.com/2011/12/07/news1.html

No comments:

Post a Comment