Monday, December 12, 2011

එළවළු-පළතුරු ලාබෙට දීමට දුම්රියෙන් ප්‍රවාහනයට ඇමැති සූදානම්

ප්ලාස්ටික් නීතිය දැන් ක්‍රියාත්මකයි

සුභාෂිණී සේනානායක සහ ශීලා උඩුවර

පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු සහ පළතුරු ලබාදීමට හැකිවන සේ එළවළු සහ පළතුරු ප්‍රවාහනය දුම්රියෙන් සිදු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඒ ඒ දුම්රිය ස්ථාන අතර එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය යොදා ගන්නා බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා පැවසීය.

ලොරි මගින් එළවළු ප්‍රවාහනයට වඩා ඒ සඳහා දුම්රිය යොදා ගැනීම හේතුවෙන් නාස්තිය වළක්වා ගැනීමට හැකිවන බවද ඇමැතිවරයා පවසයි.

මේ අතර එළවළු සහ පළතුරු ප්ලාස්ටික් ඇසුරුම් වලින් ප්‍රවාහනය කිරීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය කර තිබේ. ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා නොකර එළවළු හා පළතුරු ප්‍රවාහනය කරන අයට 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා නොකර එළවළු හා පළතුරු ප්‍රවාහනය නොකරන ලොරි ආර්ථික මධ්‍යස්ථානවලට ඇතුළත් කර නොගැනීමට ද උපදෙස් ලබා දී තිබේ. ස්ථාන 17 කදී ලොරි පරීක්ෂාවට ලක් කිරීමටද විධි විධාන යොදා තිබේ. එළවළු හා පළතුරුවල නාස්තිය අවම වීම සහ මිල ඉහළ යාම වළක්වාලීම මෙහි අරමුණ වේ.

මෙම නීතිය ක්‍රියාත්මක නොකරන ව්‍යාපාරිකයන්ට රුපියල් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වාද ගොවීන්ට රුපියල් දහසේ සිට රුපියල් දසදහස දක්වාද දඩ ගෙවීමට සිදුවේ.


http://www.dinamina.lk/2011/12/12/_art.asp?fn=p1112125

No comments:

Post a Comment