Saturday, December 17, 2011

මහනුවර ගුවන් තොට පේරාදෙණි සරසවි භූමියක

ඉන්දික පොල්කොටුව

මහනුවර ඉදිකෙරෙන අංගසම්පූර්ණ අභ්‍යන්තර ගුවන්තොටුපළ කුණ්ඩසාලේ පිහිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අයත් භූමියක ඉදිකිරීම කෙරෙහි අවධානයට ලක්ව ඇත. සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ තාක්ෂණික නිලධාරීන් පිරිසක් ඊයේ (16) මේ සඳහා කුණ්ඩසාල ප්‍රදේශයේ ස්ථාන තුනක් නිරීක්ෂණයට ලක් කළ අතර එහිදී අදාළ භූමිය කෙරෙහි එම නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

ඒ අනුව මේ සඳහා වන වාර්තාවක් සති දෙකක් තුළ ලබා දෙන ලෙස සිවිල් ගුවන්සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. වාර්තාව ලැබීමෙන් පසු ඉදිකිරීම් පිළිබඳ සැලැසුම් සකස් කර ලබන මාර්තු මාසය වන විට මහනුවර අභ්‍යන්තර ගුවන් තොටුපළෙහි ඉදිකිරීම් ආරම්භ කරන බව විෂය භාර ඇමැතිවරයා කීය. එලෙස ඇරැඹෙන ඉදිකිරීම් වසරක් තුළ අවසන් කිරීමට නියමිතය.

රුපියල් මිලියන 750ක වියදමින් මහනුවර මෙන්ම නුවරඑළිය අභ්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම්හි මූලික කටයුතු ආරම්භ කරන බව ඇමැතිවරයා පැවැසීය. ගුවන්තොටුපළ ඉදිකිරීමට සමගාමීව එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන බව කුණ්ඩසාල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දැනටමත් කුණ්ඩසාල ප්‍රදේශයේ ශීඝ්‍ර සංවර්ධනයකට ලක්කෙරෙමින් පවතින අතර ඒ අනුව ඉදිරියේදී මහනුවර දිස්ත්‍රිත් පරිපාලන නගරය ලෙස කුණ්ඩසාල කොට්ඨාසය සංවර්ධනය කෙරේ.


http://www.dinamina.lk/2011/12/17/_art.asp?fn=n11121713

No comments:

Post a Comment