Wednesday, December 14, 2011

වී යටකරගෙන කෙසෙල් එයි

වියදම අඩුයි - ආදායම වැඩියි ගොවීහු කියති

සී.එම්. ආරියපාල - තඹුත්තේගම

වී ගොවිතැන සඳහා වැඩිපුර වියදමක්‌ සහ ශ්‍රම දායකත්වයක්‌ වැය කළ යුතු නිසා රාජාංගනය ගොවි ජනපදයේ ගොවියන් ගොවිතැනින් ඉවත් වී කෙසෙල් සහ පොල් වගාව සඳහා යොමු වී ඇති බව වාර්තා වේ. මුලදී වී ගොවිතැන සඳහා වෙන්කළ කුඹුරු ඉඩම්වල දැන් 1/3 ක්‌ පමණ කෙසෙල් වගාව සිදුකර ඇති බව වාර්තා වේ.

දැනට වී වලින් හොඳ ආදායමක්‌ නොලැබෙන නිසා වී වෙනුවට කෙසෙල් වගා කිරීමට පුරුදු වී ඇති බව රාජාංගනය යාය 04 පදිංචි එම්. ජී. කරුණාසේන ගොවි මහතා මෙසේ පැවැසීය. රාජාංගනය යාය 04, 1 ඇළ යටතේ අක්‌කර 80 ක්‌ පමණ ඇති අතර දැනට එහි පොල් හා කෙසෙල් අක්‌කර 40 ක්‌ පමණ වගා කර තිබෙනවා. රාජාංගනය යායා 04 ප්‍රදේශයේ අක්‌කර 220 ක්‌ පමණ කෙසෙල් හා පොල් වගාකර තිබෙනවා.මේවා වගා කිරීමේදී වැඩි ආදායමක්‌ ලැබෙන අතර වැයවන කුලී ප්‍රමාණය ද අඩුයි. පොහොර සහ යොදන කෘමිනාශක ප්‍රමාණය ද ඉතාමත් අඩුය. ඉදිරි කාලයේදී කෑම පිණිස වී සොයා ගැනීමට පවා අපහසු වීමට ඉඩ තියෙනවා.

ආරියදාස ඩයස්‌ ගොවි මහතා, මුලදී අප වගා කළ වී සඳහා වැඩි වියදමක්‌ දැරීමට සිදුවන අතර වැඩි මහන්සියක්‌ද දැරීමට සිදු වෙනවා. කෙසෙල්වලට වැය කිරීමට සිදුවන වියදමත් ශ්‍රම දායකත්වයක්‌ අඩු නිසා ගොවියෝ කෙසෙල් වගාවට යොමු වී තිබෙනවා. මා කෙසෙල් අක්‌කර 2 1/2 ක්‌ පමණ වගාකර තිබෙනවා.

ප්‍රෑන්සිස්‌ ගමගේ ගොවි මහතා - කෙසෙල් වලින් ලැබෙන වැඩිපුර ආදායම නිසා රාජාංගනය ප්‍රදේශයේ ගොවියෝ දැන් කුඹුරු ගොඩකර කෙසෙල් වගා කිරීමට පුරුදු වෙලා කෙසෙල්වලට වී වලට වැඩියෙන් ආදායමක්‌ ලැබෙනවා. රාජාංගනය යාය 04,1 ඇළ ප්‍රදේශයේ කුඹුරු අක්‌කර 70 ක්‌ තිබෙන අතර ඉන් හරි අඩක්‌ කුඹුරුවල කෙසෙල් වගා කර තිබෙනවා.

වීවලට හොඳ මිලක්‌ නැති නිසා ගොවියාගේ ශ්‍රමයට ගැළපෙන ආදායම නොලැබෙන හෙයින් අප කෙසෙල් වගාවට යොමු වුණා.

රාජාංගනය යාය 01,02,03, 04 ප්‍රදේශවල අපි සංචාරය කළ අතර අපට නිරීක්‌ෂණය කිරීමට හැකි වූයේ මුලදී, වගාකළ කුඹුරු වීකෙත්වතු දැන් කෙසෙල් වතු බවට පත්වී ඇති අයුරුයි.

ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිනී කේ. එම්. එන්. දිල්රුක්‍ෂි ගුණතිලක මහත්මිය කියා සිටියේ රාජාංගනය දකුණු ඉවුර ගොවි ජනපදයේ දැනට ගොඩ ඉඩම් අක්‌කර 8268 ක්‌ද මඩ ඉඩම් අක්‌කර 9248 ක්‌ ද තිබෙන බවත් ඉන් මඩ ඉඩම්වල ගොවියෝ කෙසෙල් වගාවට යොමු වීම සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී ඒ ගැන සොයා බැලූ බවත් එසේ නොකරන ලෙසට කීපවිටක්‌ම අවවාද කළත් ඔවුන් එම වගා කටයුතු නවතා නොදමන බවයි. මේ අතර ඇතැම් ගොවියන් කුඹුරුවල පොල් ද වගා කර තිබෙනවා. ගොවීන් සමඟ කතා කරනවිට ඔවුන් කියන්නේ වතුර හැරවීමේ දී ප්‍රශ්න ඇති හෙයින් පොල් සහ කෙසෙල් වගා කරන බවයි.


http://www.divaina.com/2011/12/14/provin03.html

No comments:

Post a Comment