මහා භාණ්ඩාගාරය රාජ්‍ය ව්‍යවසාය ආයතන හරිහැටි අධීක්ෂණය කරන්නේ නෑ
- කෝප් වාර්තාව කියයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය ව්‍යවසාය ආයතන හරිහැටි අධීක්ෂණය නොකරන බවට පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තාව අනාවරණය කර ඇත. ඒ අනුව මහා භාණ්ඩාගාරය විසින් රාජ්‍ය ව්‍යවසාය ආයතන වෙත නිකුත් කරන උපදෙස් අදාළ ආයතන විසින් නිසි පරිදි අනුගමනය කරන බව තහවුරු කර ගැනීම සඳහා මහාභාණ්ඩාගාරයේ නිසි අධීක්ෂණයක් නැති බවද එම වාර්තාවේ දැක්වේ.
එම වාර්තාව පෙන්වා දෙන පරිදි මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව සහ ජාතික අය වැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යවසායන් පාලනය කිරීමේ හස්තයක් ලෙස ක්‍රියාත්මක වන අතර අදාළ ආයතනවල යහපාලනය සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම වෙනුවෙන් විවිධ චක්‍රලේඛ හා උපදෙස් ද නිකුත් කරනු ලබයි. එසේ එම සෑම ආයතනයකම අධ්යක්ෂ මණ්ඩලයට මහාභාණ්ඩාගාරයේ නියෝජිතයෙක්ද පත්කර තිබේ. මෙසේ තිබියදීත් මහාභාණ්ඩාගාරයේ චක්‍රලේඛ හා උපදෙස් අදාළ රාජ්‍ය ආයතන විසින් නිසි පරිදි ක්‍රියාත්මක කරන බවට වගබලා ගැනීමේ අධීක්ෂණයක් මහාභාණ්ඩාගාරය විසින් ක්‍රියාවට යොදවා නැති බව කෝප් සභාවට නිරීක්ෂණය වී තිබේ.
මේ නිසා අදාළ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කරන මහාභාණ්ඩාගාර නියෝජිතයින් තම වගකීම් හරිහැටි ඉටු කරන්නේ ද යන්න ගැන මහාභාණ්ඩාගාරය විසින් විශේෂ අවධානයට ලක් කළ යුතු යෑයි ද කෝප් වාර්තාව මගින් මහාභාණ්ඩාගාරයට නිර්දේශ කර ඇත.
http://www.divaina.com/2011/12/03/news06.html
"කෝප්" නිර්දේශ ක්‍රියාත්මක වන බවට අමාත්‍යාංශ ලේකම්වරු සහතික විය යුතුයි
කෝප් කමිටුව ඒකමතිකව තීරණය කරයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත, අජිත් අලහකෝන්
පාඩුපිට පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සහ කෝප් කමිටුවේ විමර්ශනයට ලක්වන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) වාර්තාව මගින් සිදුකර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් පාර්ලිමේන්තුවට සහතික විය යුතු බවට කෝප් කමිටුව තීරණය කර ඇත.
අදාළ නිර්දේශ වසරක් ඇතුළත ක්‍රියාත්මක කොට පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවටද කෝප් කමිටුවේ සියලු සාමාජිකයෝ ඒකමතිකව තීරණය කර ඇත.
මෙම ඇතැම් ආයතනවල සිටින නිලධාරීන්ට නිසි වෘත්තීය සුදුසුකම් නැති බවද ඒ නිසා මෙම ආයතනවලට නැවත පත් කිරීම් සිදු කිරීමේදී ඒ ගැන උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු විය යුතු යෑයි පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ඇමැති ඩියු ගුණසේකර මහතා කියයි.
http://www.divaina.com/2011/12/03/news16.html
No comments:
Post a Comment