විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක
හවස 6.30 සිට 9.30 දක්වා විදුලිය ඉතිරිකර ගත්තොත් ගොඩ
ඉන්ධන මිල ඉහළ ගියේය. විදුලි බිලද ඉහළ ගියේය. ඉහළ ගිය විදුලිබිලටත්, තව වසර තිහකින් අවසන් වෙන ඛනිජ තෙල් සම්පතටත් විසඳුම කුමක්ද? විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ ඒ වෙනුවෙන් අප ඉතිරි කළ යුතු බවය. නාස්ති නොකළ යුතුª බවය. “හෙට වෙනුවෙන් අද” නැමැති විදුලි සංරක්ෂණ ව්‍යාපෘතිය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ද එබැවිනි. මේ ඒ ගැන ඇමැතිවරයා සිළුමිණ සමඟ කළ සාකච්ඡාවකි.
”හෙට වෙනුවෙන් අද” නැමැති මේ ජාතික ව්‍යාපෘතියේ අරමුණ කුමක්ද?
”මේ ව්‍යාපෘතියේ කෙටිකාලීන හා දිගුකාලීන අරමුණු දෙකක් තියෙනවා. ජනතාව ඩීසල් ඇබ්බැහියෙන් මුදාගැනීම එක් කෙටි කාලීන අරමුණක්. මොකද ආර්ථිකය දුවවන්නේ ඩීසල්. ප්‍රවාහනය හා විදුලියට ඩීසල් නැතිවම බැහැ.” එහෙත් ගැටලුව තියෙන්නෙ විවිධ හේතු මත මේ තෙල් මිල ඉහළ යාමයි. ඉදිරියේදී තවත් ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යන්න පුළුවන්. මේ නිසා අපට තෙල්වලට ගෙවීමට වෙන මුදල තවත් වැඩිවෙනවා. මෙවැනි හේතු මතයි අපි විදුලිය ඉතිරි කළ යුත්තෙ. එය පෞද්ගලිකවත් ජාතික වශයෙනුත් වැදගත් වෙනවා. ඒ තමයි මේ ව්‍යාපෘතියේ කෙටිකාලීන අරමුණ.”
දිගු කාලීන අරමුණු මොනවාද?
”එක් පැත්තකින් තව වසර තිහ හතළිහකින් මේ ඉන්ධන සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අනෙක් පැත්තෙන් ඉන්ධන පරිභෝජනයෙන් සිදුවන පරිසර විනාශය නිසා ගෝලීය උණුසුම ඉහළ ගිහින් තියෙනවා. එය ඉදිරියේදී පරිසරයට දැඩි බලපෑම් කිරීමට හේතු විය හැකියි. මේ කාරණා නිසා ඛනිජ තෙල් ඇබ්බැහියෙන් යම් පමණකට මිදීම මෙහි ඇති දිගුකාලීන අරමුණයි.”
ජනතාව විදුලිය පිරිමැසිය යුත්තේ කෙසේද?
”මොන දුෂ්කරතාව තිබුණත් තවමත් පැය විසිහතර පුරා අපි විදුලිය ලබා දෙනවා. ඇමෙරිකාව, ජපානය, පකිස්ථානය, ඉන්දියාව, බංගලාදේශය වැනි බොහෝ රටවල් පැය ගණනක් විදුලිය කප්පාදු කරනවා.”
”අපේ රටේ මෙවැනි තත්ත්වයක් නැහැ. එහෙත් ඉහත කී අභියෝග අපට තිබෙනවා. ඒ නිසයි අපි විදුලිය ඉතිරි කළ යුත්තෙ. මෙතැනදි විශේෂයෙන්ම හවස හයයි තිහේ සිට නමයයි තිහ දක්වා කාලය ගැන අපි විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. මේ කාලය ඇතුළත තමයි උපරිම විදුලි පරිභෝජනයක් තියෙන්නෙ.
”මෙතැනදි ලක්ෂ පනහක් වූ සියලුම විදුලි පාරිභෝජකයන් මේ කාර්යය සඳහා දායක විය යුතුයි. මේ අය අතරින් මහා පරිමාණ කර්මාන්තකරුවන් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා කාර්යාල යන අංශවලට, හාරලක්ෂයක් පමණ පාරිභෝගිකයන් අයිතියි. ඒ අයට ස්වයංක්‍රීය විදුලි මීටර් ලබා දී තිබෙනවා. ඒ මඟින් ඔවුන්ට විදුලිය ස්වයංක්‍රීයව පාලනය කිරීමට හැකියි. සූනිත්‍ය බලශක්ති අධිකාරියත් විදුලිය පිරිමැසීම ගැන ඒ ආයතන දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඊට අමතරව ඒකක තුන්සියයට වැඩි භාවිතයක් ඇති ගෘහස්ථ පාරිභෝගිකයන්ටත් විදුලි බල මණ්ඩලය සමඟ එකතු වී විදුලිය භාවිතය පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නඟා තිබෙනවා.
හතළිස් හය ලක්ෂයක් වූ ගෘහස්ථ පාරිභෝගිකයන් මේ කාර්යයට හවුල් කර ගන්නේ කෙසේද?
”සමහර කුඩා දේවල් ගැන අපි නොසිතුවට ඒ ඉතිරිය මහා පරිමාණ ලෙස වියදම ඉතිරි කර දෙනවා. උදාහරණයක් විදියට එක් විදුලි බල්බයකින් මෙගාවොට් 60ක් ඉතිරි කළ හැකියි. හවස හයයි තිහේ සිට නමයයි තිහ දක්වා ඉස්තිරික්කය භාවිත නොකිරීමෙන් මෙගාවොට් 48ක්, වතුර පොම්පය භාවිත නොකිරීමෙන් මෙගාවොට් 20ක්, ශීතකරණය පැය 2ක් භාවිතා නොකිරීමෙන් මෙගාවොට් 250ක් යනාදි ලෙස ඉතිරි කළ හැකියි.
මේ ආදී වශයෙන් වසරකට රුපියල් දෙදාහේ සිට පන්දහස දක්වා මුදලක් ඉතිරි කරගන්න ගෘහස්ථ පාරිභෝගිකයකුට පුළුවන්. ලංකා විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන විස්සක් විසිපහක් ඉතිරි කර ගන්න පුළුවන්. තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 200ක් පමණ ඉතිරියක් වෙනවා. අනෙක් පැත්තෙන් ගම්වල තිබෙන අඩු වෝල්ටීයතා තත්ත්වය මඟහැරෙනවා. හවස හතෙන් පසු රූපවාහිනිය බැලීමේ දුෂ්කරතාව නැති කර ගැනීමට ගමේ උදවියට පුළුවන්.”
මේ විදුලිය ඉතිරි කිරීම ප්‍රායෝගික ලෙස ජනතාව අතරට ගෙන යෑමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර මොනවාද?
”පාසල් දරුවන් අතරට මේ පණිවුඩය ගෙන යෑමට බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාගේ සහයෝගය ද ඇතිව කටයුතු කරගෙන යනවා. විදුලිය පිරිමහන බවට අපි දරුවන්ගෙන් ප්‍රතිඥාවක් ගන්නවා. ඒ හැරුණාම ඔවුන් අතර තරගයක් පවත්වල වැඩිපුරම විදුලිය ඉතිරි කරන සිසුවාට විශාල වශයෙන් තෑගි ලබා දෙන්න කටයුතු කරනවා.”
”ඒ වගේම අප්‍රේල් සිට ගෘහස්ථ පාරිභෝගිකයන් අතරත් මෙවැනි තරග පවත්වා තෑගි මල්ලක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැරුණුකොට රට පුරා ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඉන් සමහරකට මමත් සහභාගිවෙනවා.”
ජනතාවට විදුලිය පිරිමහන්න කියන ඔබ විදුලිබල මණ්ඩලයේ වංචා, දූෂණ, නාස්තිය හා අකාර්යක්ෂමතාව නැවතීමට ගන්නා පියවර කුමක්ද?
”විදුලිය හා සෙසු වියදම්වලින් ඉතිරි කර රටට ආදර්ශයක් දීමට අප කටයුතු කර තිබෙනවා. 2010 වසරේ පමණක් විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 45ක් ඉතිරි කළා. ඉන් බිලියන 15ක්ම ඉතිරි කළේ කාර්යක්ෂමතා කඩඉම්වලින්. එතැනදී නාස්තිය පිටුදකිමින් වෙනත් මූල්‍ය පාලන කටයුතු කරමින් මණ්ඩලය ඒ මුදල් ඉතිරි කළා.”
”ඒ වගේම ගිය වසරේ අපේක්ෂිත වියදම්වලින් රුපියල් බිලියන 11ක් පමණ වියදමක් පාලනය කරන්න අපට හැකි වුණා. මේ වසරේ අපි රුපියල් බිලියන 20ක් ඉතිරි කිරීම් ඉලක්කයක් තිබෙනවා. ඒ හැරුණාම මම ඇතුළු මගේ කාර්ය මණ්ඩලය මුළු වියදමෙන් සියයට 15ක් ඉතිරි කිරීමට කටයුතු කරනවා. උදාහරණයක් විදියට මම කවදාවත් කාර්යාලයේදී හෝ පාර්ලිමේන්තුවේදී විදුලි සෝපානය භාවිත කරන්නෙ නැහැ.
කොහොම වුණත් මණ්ඩලයේ දූෂණ වංචා සොරකම් නතර කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක් නොවේද?
”වංචා දූෂණ හා සොරකම්වලට කිසිවකුට අපෙන් සමාවක් නැහැ. ඒ සම්බන්ධව අපි ඉතා තදින් කටයුතු කරනවා. කවුරු මොනවා කිව්වත් අපි දූෂිතයන්ට දඬුවම් කර තිබෙනවා. ලෙකෝ ආයතනයේ දූෂිතයන්ට දඬුවම් දුන් නිසා තමයි, ඒ ආයතනය අද ඉතා කාර්යක්ෂම ආයතනයක් බවට පත්ව තියෙන්නෙ”
”කෙසේ නමුත් මේ රටේ වෘත්තීය සමිතිවලට කියන්න දෙයක් තියෙනවා. තම ආයතන ගරහමින් ඉන්නෙ නැතිව තමන්ගෙ වගකීම් ඉටු කරන්න. සමහරු ලොකු සද්ද දැම්මට තමන්ගෙ ආයතනය වෙනුවෙන් එක දහඩිය බිඳක් හෙළන්නෙ නැහැ. තමන්ගෙ පක්ෂවලට පූර්ණකාලීනව වැඩ කරනවා. බොහොම සද්දෙට කෑගහන අනෙක් අය වංචා දූෂණවලට චෝදනා ලැබූ අය.”
එහෙත් මණ්ඩලයේ වැරැදි තීරණ හා අකාර්යක්ෂමතාව නිසා පසුගිය වසරවල රුපියල් බිලියන ගණනින් මණ්ඩලය පාඩු ලැබූ බව ඔබ පවසා තිබෙනවා. විශේෂයෙන් නොරොච්චෝල වැනි බලාගාර. මේ බලාගාරවල පාඩු පියවා ගැනීමට මේ වසරේවත් වැඩපිළිවෙළක් තියෙනවද?
”ඒවා ඉතිං තාක්ෂණික ගැටලුනෙ. ඒ වැරැදි මණ්ඩලයේ පාලනාධිකාරිය බාර ගත යුතුයි. ඒවට අමාත්‍යාංශයට වගකියන්න බැහැ. එහෙත් මේ සම්බන්ධව අපි සොයා බැලීමක් කරගෙන යනවා. ඉන්පසුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නවා. මේ ආයතනවල කිසිම කෙනකු අපි සුද්ද කරන්නෙ නැහැ.”
”හැබැයි මණ්ඩලයේ හොඳ පැති තියෙනවා. මණ්ඩලයේ ඩිපෝ අධිකාරිවරු බහුතරයක් සිය ප්‍රාදේශීය කාර්යාල එස් පහ ක්‍රමයට ගෙනවිත් තිබෙනවා. විදුලි බිඳ වැටීම් අවම තත්ත්වයට ගෙනැවිත් තිබෙනවා.ධ්ඉර්‍ණ ප්‍රමිති සහතික ලබාගෙන තිබෙනවා. ඒ වගේම ප්‍රධාන නගරවල ඊ-සිටි ක්‍රියාත්මක කර තිබෙනවා. ස්වයංක්‍රීය බලපද්ධති පාලනය නගර ගණනාවකම ක්‍රියාත්මක කර තියෙනවා. ඒවා කර තිබෙන්නේ අපේම ඉංජිනේරුවෝ. ඒ නිසා විදේශ ඉංජිනේරුවන්ට ගෙවන බිලියන ගණන් අපට ඉතිරි කරගන්න හැකිවී තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයේ අපේ මඟපෙන්වීම් යටතේ එවැනි හොඳ දේවලුත් කෙරුණා.”
වයඹ පළාත ධ්ඉර්‍ණ සහතිකය දිනාගැනීම වෙනුවෙන් පැවැත්වූ උත්සවයට රුපියල් මිලියන 100ක් වියදම් කළා කියන්නෙ ඇත්තද?
”පල් බොරුනෙ. මම නම් ඒකෙ වියදම් ගැන දන්නෙ නැහැ. මම ඔය උත්සවයට සහභාගි වුණේ නැහැ. ඒක කළේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා. හැබැයි ඔය කතාව නම් අමූලික බොරුවක්.”
”අනික මණ්ඩලයට මිලියන 100ක් 150ක් ඉතුරු කර දෙන සේවකයන් ඇගැයීමට ලක් කළ යුතුයි.
පසුගියදා ඉංජිනේරුවරුන්ගේ වැටුප සියයට හැටේ සිට එකසිය දෙක දක්වා වැඩි කරනු ලැබුවා. මහජනතාවත් සේවකයොත් කරන ඉතිරියෙන් පලක් තියේවිද?
”ඉංජිනේරුවන්ට කළ ඒ පඩි වැඩිකිරීම් මණ්ඩලයට නම් බරක් නොවේ. ඉංජිනේරුවන් විදේශගතවීමේ දී වගේම ටෙලිකොම් සමාගමේ ඉංජිනේරුවන්ගේ වැටුප් දිහා බලන විට අපේ ඉංජිනේරුවන්ගේ වැටුප් තත්ත්වය හොඳ නැහැ. නමුත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ වැටුප දිහා බලද්දි නම් මේ පඩිවල වෙනසක් තියෙනවා. නමුත් මේ ඉංජිනේරුවන්ගේ කාර්යභාරය සුවිශේෂයි. මම නම් කියන්නෙ මේ අයට හොඳට ගෙවන්න ඕනෙ.”
”ඒත් මෙතැනදි සියලු දෙනාගේම වැටුප් හැදෙන නිශ්චිත රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. එතැනදි ජ්‍යෙෂ්ඨත්වයට නොව කුසලතාව වෙනුවෙන් වැටුප් තීරණය විය යුතුයි.”
”විශේෂයෙන් ඛනිජ තෙල් සංස්ථාව දුම්රිය දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ලෙකෝ රාජ්‍ය බැංකු, වරාය කියන ආයතන මේ ප්‍රතිපත්තිය නැතිව ගොඩගන්න බැහැ. ඒ වගේම මේ ආයතන වාණිජමය වශයෙන් ගොඩ ගන්න ඕනෙ.”
මණ්ඩලය පාඩු ලබන තත්ත්වයක සිටියත් නව බඳවාගැනීම් අසීමිතව කෙරෙනවා නේද?
”ඒ කතාව බොරුවක්. මණ්ඩලයේ රෙගුලාසි අනුව පුරප්පාඩුවලට, නියම සුදුස්සන් බඳවා ගන්නවා මිස වෙන කිසිදු අයථා බඳවාගැනීමක් නැහැ.”
සංවාද සටහන - සුමේධා නවරත්න
ඡායාරූපය - සුදම් ගුණසිංහ
http://www.silumina.lk/2012/03/25/_art.asp?fn=af1203252
No comments:
Post a Comment