Tuesday, March 27, 2012

ශීඝ්‍ර ලෙස මිල ගණන් පහත වැටීමෙන් ඉහළ ඌවේ එළවළු ගොවීන්ට ගැටලු රැසක්‌

මෙරට ඇතැම් ප්‍රදේශවල කෘෂි නිෂ්පාදන අලෙවිකර ගැනීමට අවශ්‍ය විධිමත් ක්‍රියාදාමයක්‌ තවමත් ඇති නොවීම නිසා මේ වනවිට දේශීය කෘෂි නිෂ්පාදකයන්ට නොසිතු අන්දමේ ගැටලුවලට මුහුණ දීමට සිදුවී ඇත.

විශේෂයෙන් ඉහළ ඌවේ එළවළු බෝග වගාවෙහි නිරත වී සිටින සියල්ලන්ටම පාහේ අද සිදුවී ඇත්තේ වෙන කිසිම කලෙක ඇති නොවූ අන්දමේ පීඩාකාරී තත්ත්වයකට මුහුණ දීමයි. ඒ ඔවුන්ගේ නිෂ්පාදනවලට සාධාරණ මිලක්‌ හා සාධාරණ අලෙවියක්‌ ඇති නොවීම නිසයි.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා "දිවයින" කළ විමසීමකදී ඔවුන්ගෙන් කීපදෙනෙකු ප්‍රකාශ කර සිටිsයේ මෙවන් අදහස්‌ සමූහයකි.

බණ්‌ඩාරවෙල කැබිල්ලවෙල දිලීප් ප්‍රඥරත්න මහතා

අප දිගු කලක සිට එළවළු වගාවේ නිරත වී සිටින ගොවීන්. මීට කලින් නොතිබුණ විදියේ එලවළු වල මිළ පහළ යැමක්‌ මේ දිනවල සිදුවෙමින් පවතිනවා. අනේක දුක්‌ ගැහැට විඳ හදන එළවළු වෙළෙඳ පොළට ගෙනාවිට තුට්‌ටුවට දෙකටයි ඉල්ලන්නේ.

තක්‌කාලි වැනි එළවළු කිලෝවට අද රු.5.00 ට වත් වෙළෙන්දො ගන්නේ නැහැ. ඒ නිසා සමහර ගොවීන් ඒවා මහ මග හලා ආපසු හිස්‌ අතින් ගෙදර යනවා.

කෘෂිකාර්මික රටක්‌ වූ ශ්‍රී ලංකාවේ මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන කනගාටුවෙනවා. එනිසා රජය මැදිහත්වී ඉහළ ඌවේ ගොවීන්ගේ නිෂ්පාදන සාධාරණ මිලකට ගැනීමට ජාතික මට්‌ටමේ වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා.

ඇටම්පිටිය චමින්ද ජයවීර මහතා

බොහෝ විට කන්න දෙකේදීම අපි එළවළු වගා කරනවා. ඒ සඳහා විශාල මුදලක්‌ වැය කිරීමට සිදුවෙනවා. පොහොර, බීජ වර්ග සහ කෘමිනාශක සඳහාද යන වියදම ඉස්‌සරට වඩා වැඩියි.

එහෙම වෙහෙස මහන්සි වී වගා කරගත් එළවළු ටික නගරයට ගෙනාවම ඉල්ලන්නේ කුණු කොල්ලයට අපට වෙන කරන්න රැකියාවක්‌ නැහැ. මැරෙන තෙක්‌ එළවළු හා වී ගොවිතැනමයි කරන්න තියෙන්නේ. ඒ නිසා අපි වැටී ඇති වළෙන් ගොඩ එන්න කවුරු කවුරුත් අපිට උදව් කරන්න.

කුරුකුදේගම විමල් සිසිර කුමාර මහතා

මම වගාකරන එළවළු වර්ග මේ දිනවලට විකුණන්නේ අතට පාඩුවෙන්. ගමේ සිට ත්‍රිරෝද රථ වලින් තමා බණ්‌ඩාරවෙල තොග වෙළෙඳ පොළට ඒවා ගෙන එන්නේ. දැන් මාස තුන හතරකට ඉස්‌සරවෙලා ඉතා හොඳ මිලකට අපට එළවළු අලෙවි කරන්න පුළුවන් වුණා. නමුත් දැන් බණ්‌ඩාරවෙල තොග වෙළෙඳ පොළේ සෑම එළවළු වර්ගයකම මිල පහත වැටිලා.

එතැනට වැලිමඩ, කැප්පෙටිපොළ වැනි ප්‍රදේශ වලින් එළවළු ගෙන එම මේකට එක හේතුවක්‌ වී තිබෙනවා. කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්‌ථානයක්‌ තිබියදීයි සමහරු එතැනට දෙන එළවළු මෙහෙම ගෙනල්ල ගොඩ ගහන්නේ. මේ කාර්ය නවතාලන්නේ නම් එයත් අපට සහනයක්‌.

පස්‌සර කනැවැරැල්ල වතුයායේ වතු සේවක කේ. තංගවේලු මහතා

වතුකරයේ ජීවත්වන අප කුඩා ඉඩම් ප්‍රමාණවල තමයි වගා කරන්නේ. වත්තේ වැඩවලට අමතරව ආදායම් ලැබෙන්නේ එළවළු වගාවෙන්. සතිපොළවල් වලට විශාල ලෙස වතුවලින් එළවළු ගෙන යනවා.

විශේෂයෙන් බෝංචි ලීක්‌ස්‌, බීට්‌, කැරට්‌ ගෝවා, රාබු, නෝකෝල් ආදිය ඒ අතර වෙනවා. මේවට වැඩිපුර අපි යොදන්නේ ගොම පොහොර ඒ නිසාම ගිය මාසේ වගේ වනතෙක්‌ හොඳ ඉල්ලුමක්‌ මේවට තිබුණා. හොඳ මිලකුත් තිබුණා. බෝංචි කිලෝව ඒ දවස්‌වල රු.150 ටත් ගියා. අද කිලෝවක්‌ රු.50-60 ක්‌ අතර මිලකට බැහැල.

මේ තත්ත්වයෙන් මිදීමට අපට අත දෙන්න තාමත් කිසිවෙකු ඉදිරිපත් වී නැහැ. ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරන්න.

බණ්‌ඩාරවෙල එක්‌සත් වෙළෙඳ සංගමයේ සභාපති එච්. ඒ. පී. ප්‍රසන්න මහතා

මෙම තත්ත්වය කලින් කල වෙනස්‌ වෙනවා. නමුත් නිෂ්පාදන වැඩිවීම නිසාදොa මිලේ පහත යැම් සිදුවීම පිළිගන්න පිළිවන්.

ගොවීන්ගේ මේ ගැටලු අපටත් පිළිගන්න සිදුවෙනවා. ඒ නිසා අප දැන් කලක සිට ඉල්ලා තියෙන්නේ ආර්ථික මධ්‍යස්‌ථානවලට අමතරව බණ්‌ඩාරවෙල සහ වැලිමඩ යන මධ්‍යස්‌ථානවල සීත ගබඩා වහාම පිහිටුවන ලෙසයි.

ඒ වගේම පිටරටින් ගෙන්වන එළවළු බීජ කල්පනාකාරීව ලබා ගත යුතුව තිබෙනවා. ඒවායේ දේශීය බීජ සම්පූර්ණයෙන්ම වඳ කිරීමේ තත්ත්වයක්‌ ඇතිවීමට ඉඩ තිබෙනවා.

බොහෝ කන්නවල දරුණු ලෙස විනාශ කරන තක්‌කාලි සඳහා "ජූස්‌" නිෂ්පාදනාගාරද ආරම්භ කිරීම කාලෝචිතයි.

ඡායාරූප හා සටහන නමුණුකුල
යූ. බී. පල්ලේගෙදර


http://www.divaina.com/2012/03/27/provin05.html

No comments:

Post a Comment