Wednesday, March 28, 2012

ගම්පහ පරිසර නීති කැඩූ 178කට රුපියල් දෙලක්ෂ තිස් හය දහසක් දඩ

* වැටලීම සිදු කළේ ගිය වසරේ
* වැරැදි හදාගන්න දුන් අවස්ථාද මග හැරලා


නිට්ටඹුව සමූහ ජෙනට් ජයසිංහ

ගම්පහ මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකය මගින් 2011 වසරේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිසර නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 178 දෙනකු ගම්පහ අධිකරණය හමුවට පමුණුවා දඩ මුදල් වශයෙන් රුපියල් දෙලක්ෂ තිස් හය දහසක් අය කර ගෙන තිබේ.

2012 වසර ආරම්භයේ සිට මේ දක්වා පුද්ගලයන්61 දෙනකු අධිකරණය හමුවට පමුණුවා දඩ මුදල් වශයෙන් රුපියල් 40500 ක් ලබාදී ඇති බව ගම්පහ මූලස්ථාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. බී. කරුණාරත්න මහතා පැවසීය. ඩෙංගු මර්දන ව්‍යාපෘතිය යටතේ තමා පදිංචි නිවාස අසල පරිසරය අපිරිසුදු අන්දමින් මදුරුවන්ට පහසුවෙන් බෝවීමට හැකි පරිදි පවත්වාගෙන යාම, මහාමාර්ගවලට අපවිත්‍ර ජලය මුදා හැරීම, වැලි ගොඩදැමිම, පස් කැපීම, වාරිමාර්ග වලට විෂ මිශ්‍ර අප ජලය මුදා හැරීම වැනි චෝදනා යටතේ මේ නඩු පවරා තිබේ.

පරිසරයට හානිදායක වන බවට මහජනතාවගෙන් අදාළ අංශයට ලිඛිතව හා වාචිකව ලැබෙන පැමිණිලි පරීක්ෂා කිරීමෙන් පසු බොහෝ දෙනකුට එම වැරැදි නිවැරැදි කර ගැනීම සඳහා ලබාදෙන අවස්ථා පැහැර හැරීම නිසා අධිකරණය හමුවට පැමිණ වූ පුද්ගලයන්ද මේ අතර සිටින බව පොලිස් පරීක්ෂක එම්. බී. කරුණාරත්න මහතා කීය.මේ පරීක්ෂණ සඳහා අදාළ අංශයේ පොලිස් සැරයන් 55535 ටී. කේ. රාජපක්ෂ, පොලිස් කොස්තාපල්වරු වන ඊ. එම්. ඊ. ඩබ්ලිව්. තුසිත, කේ. ටී. ගුණරත්න, විජය සහ බණ්ඩාර යන නිලධාරීහු සහාය ලබාදී ඇත.


http://www.dinamina.lk/2012/03/28/_art.asp?fn=r1203283

No comments:

Post a Comment