Wednesday, March 28, 2012

සහතික මිලට වී විකුණා අපේ ණය ගෙවන්න බැහැ

- ගොවීහු "දිවයින"ට දුක කියති

ගලේවෙල විශේෂ

"ඉන්ධන මිල වැඩිවීම වී නිෂ්පාදනයටත් තදින් බලපා තිබෙනවා. ඒ සඳහා වැයවෙන කුලිය නොසිතූ විදියට සීග්‍රයෙන් ඉහළ ගොස්‌ තිබීම ගොවීන්ට දරා ගත නොහැකිය. දේවහූව ගොවි පවුල් දෙදහසක්‌ විතර සිටිනවා. අක්‌කර තුන්දහසක්‌ පමණ වී ගොවිතැන් කර තිබෙනවා. අක්‌කරයක වී අස්‌වැන්න නෙළා ගන්න රුපියල් හතළිස්‌ දහසක්‌ විතර වැයවෙනවා.

ඒ අනුව රු. 28 හා රු. 30 ක්‌ සහතික මිලට වී අලෙවි කරලා අපේ වියදම් පියවා ගන්නට බෑ. නමුත් දැන් නාඩු වී කිලෝව රු. 22 ට බැහැලා. ඒ නිසා නාඩු හා සම්බාවල වී කිලෝවක සහතික මිල අඩු වශයෙන් රු. 35 ට වැඩිවිය යුතුයි. නැතිනම් වියදම් පියවාගෙන ලාභයක්‌ ගන්නට බෑ. අනික ගොවිතැන් කරන්නේ දස අතේ ණය වෙලා. අස්‌වැන්න ගන්න ගමන් වී අලෙවි කර ගත්තෙ නැත්නම් ණය ගෙවන්නට බැරිවෙලා ගොවීන් අපහසුතාවට පත්වෙනවා. කරන දෙයක්‌ ඉක්‌මනින්ම කළ යුතුයි. මේ නිසා සහතික මිල වැඩිකරලා වී මිලට ගැනීමේ ක්‍රමවේදයක්‌ වහා ආරම්භ කරන ලෙස දේවහුව ගොවි ජනතාව රජයෙන් ඉල්ලා සිටී.

දේවහූව ගොවි ජනපදයේ පසුගියදා අපි කළ සංචාරයකදී එසේ අදහස්‌ දැක්‌වූයේ යාය 1 හා 2 "ගැමුණු" ගොවි සමාජයේ සභාපති එල්. ජී. ගුණපාල (64) මහතාය.

මෙවර මාස්‌ කන්නයේ දේවහූව ගොවි ජනපදයේ වී අස්‌වැන්න සරු වී ඇත. එහි අපේක්‍ෂිත අස්‌වැන්න බුසල් ලක්‍ෂ 4 ක්‌ පමණ වේ. නමුත් වී වල මිල බැසීම නිසා ගොවීහු සිය අස්‌වැන්න අලෙවි කරගැනීමට නොහැකිව ලතැවෙමින් සිටිති. පවතින මිල ගණන් ගැන තමන්ට කොහෙත්ම සෑහීමකට පත්විය නොහැකි බව ඔවුහු කියති. ඒ නිසා වී වල සහතික මිල ඉහළ දමා ඔවුන්ගේ වී මිලට සාධාරණය ඉටුකළ යුතුව ඇත. නැත්නම් ඔවුන් පත්වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. මේ පිළිබඳ තවත් ගොවීන් කීපදෙනකු මෙසේ අදහස්‌ දැක්‌වූහ.

අලුත්ගෙදර පුංචා (72) ගොවි මහතා - වී මිල හොඳටම බැහැලා. නාඩු කිලෝව රු. 22 රු. 23. සම්බා වලට මිලක්‌ ඇත්තේම නෑ. අඩු මිලට අපේ වී ටික කොල්ලකන්න පුද්ගලික වෙළෙන්දෝ බලාගෙන ඉන්නවා. ගොවියාට තැන දෙන්නේ කිලෝව රු. 23 අරගෙනද? ටී. වී. එකෙයි පත්තරෙයි විතරයි වී ගන්නේ. වී ගන්න තැනක්‌ නෑ. රු. 28 හා රු. 30 සහිතක මිලට වී දුන්නත් අපට පාඩුයි. දැන් හැමදේකම මිල වැඩිවෙලා. ඒක වී ගොවිජනතාවටත් පොදුය. ඒනිසා අඩු වශයෙන් වී සහතික මිල රු. 35 ක්‌ වත් කළ යුතුයි.

පී. ඒ. අප්පුහාමි (66) තුනේ ඇල, මාස්‌ කන්නයේ වී ගොවිතැනින් අක්‌කරයකට බුසල් 120 ක්‌ ගත්තා. මිනිහෙකුට කුලිය රුපියල් 700 සිට 800 ට නැග තිබෙනවා. ගැහැනියකට රු. 500 දක්‌වා වැඩිවෙලා. සුනාමියට පැයකට රු. 2800 යි. අක්‌කරයක්‌ කපන්නට රු. 12000 යි. ආදී වශයෙන් කුලිය වැඩිවෙලා. රු. 28 සහතික මිලට වී අලෙවි කළත් අපිට වියදම් පියවා ගන්න බෑ. නමුත් දැන් ඒකත් 22, 23 බැහැලා. අඩු වශයෙන් වී වල සහතික මිල රු. 35 ක්‌ වත් කළ යුතුව වෙනවා. නැත්නම් ගොවියාට සිදුවන්නේ රටට ණය වෙලා ජීවත්වෙන්නයි.

ඒ. ජී. ආරියරත්න (56) යාය 2 දේවහූව ගොවි ජනපදය - මමත් අක්‌කර එකහමාරක වී ගොවිතැන් කරලා තිබෙනවා. රු. 28 ක්‌ සහතික මිල තිබිලා අපේ වියදම් පියවා ගන්නට බෑ. එය රු. 35 ක්‌ වත් කළ යුතුයි. හැකි ඉක්‌මනින් එසේ නොකළහොත් ගොවියා අමාරුවේ.

දේවහූව ගොවීන්ගේ ප්‍රශ්න විසඳීමට කඩිනම් ක්‍රියාමාර්ගයක්‌ නොගත්තොත් ඔවුහු පුද්ගලික වෙළෙන්දගේ ග්‍රහණයට අනිවාර්යයෙන්ම ගොදුරු වේ. මන්ද ණය තුරුස්‌ වී ගොවිතැන් කිරීම නිසා වහා සිය ණය ගෙවීමේ අවශ්‍යතාව පැන නැගී ඇති නිසාය. ඒ නිසා ඔවුන්ට සාධාරණය ඉටුකරදීම රජයේ වගකීමයි.


http://www.divaina.com/2012/03/28/provin02.html

No comments:

Post a Comment