Saturday, March 24, 2012

ජනවාරි මස පෞද්ගලික අංශය ලබාගත් ණය වර්ධනය 34.3% ක්‌

ශ්‍යාම් නුවන් ගනේවත්ත

පෞද්ගලික අංශය විසින් ලබාගත් ණය තවදුරටත් ඉහළ අගයක පවතින්නේ යෑයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේදී පෞද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය සියයට 34.3 කින් වර්ධනය වී තිබේ.

මෙම වර්ධනයන්ට ප්‍රතිචාර ලෙස ඉකුත් පෙබරවාරි මාසයේදී රජය සහ මහ බැංකුව විසින් වෙළෙඳ හිඟය අඩු කිරීමේ අභියෝගයට මුහුණ දීමට මෙන්ම පුළුල් මුදල් වර්ධනය ණය වර්ධනය හා ආනයන වර්ධනයෙහි ඇති වෙමින් පවතින අසමතුලිතතාව සඳහා ඵලදායි පිළියමක්‌ යෙදීමට ක්‍රියාමාර්ග ගත් බවද මහ බැංකුව පෙන්වා දෙයි.

දේශීය ආර්ථික කටයුතු ප්‍රවර්ධනය කිරීමට තුඩු දුන් ඉහළ ගිය ආයෝජක විශ්වාසය, වසර තුළ දී ආනයන සාපේක්‍ෂ වශයෙන් ඉහළ යැමට ද හේතු විය. මෙය, ගෙවුම් තුලනයේ වෙළෙඳ ගිණුම තුළ අපේක්‍ෂිත මට්‌ටම ඉක්‌ම වූ හිඟයක්‌ ඇති වීමට හේතු විය. මේ අතරම, 2012 ජනවාරි මාසය තුළ දී පුළුල් මුදල් හි වර්ධනය තව දුරටත් ඉහළ අගයක පැවති අතර, පෞද්ගලික හා රාජ්‍ය අංශ යන දෙක විසින්ම ලබාගත් ණය ඉහළ යැම හේතුකොට ගෙන පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්‌ෂ්‍යමය වර්ධනය සියයට 20.1 ක්‌ වූ බවද මහ බැංකුව තව දුරටත් පවසයි.


http://www.divaina.com/2012/03/24/news17.html

No comments:

Post a Comment