Saturday, February 25, 2012

සහල්, කොස්, දෙල් අල, බතල ඕනෑතරම් ඒත් පාන්පිටි පරිභෝජනය වැඩිවෙලා

මවුබිම ලංකා පදනමේ සභාපති

ආරියශීල වික්‍රමනායක

මවුබිම ලංකා පදනම යනු දේශීය ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. ඔවුන්ගේ අභිප්‍රාය දේශීය නිෂ්පාදන සඳහා මෙරට ජනතාව යොමු කිරීමය. මවුබිම ලංකා පදනමේ සභාපතිවරයා වන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක මහතාය. ඔහු මේ දිනවල පාන්පිටි නිෂ්පාදන භාවිතයෙන් වැළකීම සහ දේශීය කිරිපිටි භාවිතයට රටේ ජනතාව යොමු කිරීමේ උත්සාහයක නිරතව සිටී. අපේ රටේ විදේශ විනිමය ඉතිරි කර ගන්නේ කෙසේ ද? එමඟින් රටේ ජනතාවට අත්වෙන වාසි මොනවාද යන්න ගැන ඔහු සමඟ “සිළුමිණ” කළ සංවාදයකි මේ.



රට ආර්ථික වශනේ දියුණු බව ආණ්ඩුව කියනවා. හැබැයි විපක්ෂය කියන්නේ එය අසත්‍යයක් බවයි. ඔබ ව්‍යාපාරිකයකු විදියට රටේ වත්මන් තත්ත්වය දකින්නේ කොහොම ද?

ශ්‍රී ලංකාව අද කවරදාටත් වඩා පොහොසත්. ඒත් එය අපට දැනෙන්නේ නැහැ. ඊට ප්‍රධාන හේතු කිහිපයක් ගැන මා මේ දිනවල රටේ මතයක් ගොඩ නඟමින් යනවා.

රට කවරදාටත් වඩා පොහොසත් කියන්න ඔබට තිබෙන සාධක මොනවා ද?

හේතු සාධක බොහොමයක් තිබෙනවා. මීට වසර කීපයකට පෙර තේ වලින් අපේ රටට ලැබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් 400 ක් විතර. ඒත් ගිය වසරේ තේ වලින් ලැබු ආදායම ඩොලර් මිලියන 1000 යි. ඊළඟට අපේ රටේ අම්මලා අරාබි රටවලට ගිහින් මේ රටට වසරකට ඩොලර් මිලියන 4000 ක් 5000 ක් ලබා දෙනවා. මේ විදියට අපේ රට වෙන කවරදාටත් වඩා ගිය වසරේදී විදේශ වෙළෙඳාමෙන් ලැබු ආදායම ඩොලර් මිලියන 10,000 ක් වෙනවා. එවැනි ආදායමක් අපේ රට අන් කවරදාවත් ලබා නැහැ. මීට පෙර අප ලබා තිබු ආදායම ඩොලර් මිලියන 2000 ක් 3000 ක් පමණයි.

අපේ රට පෙරට වඩා පොහොසත් කීවත් එය සාමාන්‍ය ජනතාවගේ ඇඟට නොදැනෙන්නේ ඇයි?

අපේ රටේ පොහොසත්කම සාමාන්‍ය ජනතාවට නොදැනෙන්න හේතු කිහිපයක් තිබෙනවා. මම කියන්නෙ අපේ ආර්ථිකය සූරාකරන එක්තරා චක්‍රයකට අපි අහුවෙලා ඉන්නවා. අපේ රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය අපි නිකරුණේ විනාශ කර ගන්නවා. සරලව කිව්වොත් කිරිපිටි, පාන්පිටි, රථ වාහන, ජංගම ජරකථන ආදිය නිසා අපේ රටේ ඩොලර් ටික පිටරටට යනවා. ඉතින් අපේ රටේ ජනතාවට සහන මිලට පෙට්‍රල්, ඩීසල් දෙන්න තියෙන සල්ලි තමයි විදේශ රටවලට යන්නේ. අපි විවෘත ආර්ථිකය කියලා පිටරට ඕනෑම කුණු ගොඩක් මේ රටේ විකුණන්න ඉඩ දීලා අපේ රටේ ඩොලර් ටික නැතිකර ගන්නවා. අපේ රටට ලැබෙන ඩොලර් නිකරුණේ විනාශ වුණාම අත්‍යාවශ්‍යම භාණ්ඩ මේ රටට ගෙනත් සාමාන්‍ය ජනතාවට සහන මිලට ලබා දෙන්න රටේ ආණ්ඩුවට ඩොලර් කොහෙන් ද?

ඔබ කියන විදියට පිටරටින් ගෙන්වන කිරිපිටි, පාන්පිටි, රථ වාහන, ජංගම දුරකථන නිසා රටේ ආර්ථිකයට සිදුවන හානිය විග්‍රහ කරන්නේ කොහොම ද?

සාමාන්‍යයෙන් 2009, 2010 වසරවල මේ රටට කිරිපිටි ටොන් 50,000 පමණ ගෙනාවේ. ඒත් 2011 වසරේදී කිරිපිටි ටොන් 83,000 ක් ගෙන්වා තිබෙනවා. එතකොට ගිය වර්ෂයේ කිරිපිටි ගෙන්වීමට අපේ රට රුපියල් මිලියන 40,000 ක් වියදම් කර තිබෙනවා. ඒ මිලියන 40,000 මේ රටේ ඉතිරි කර ගත්තොත් මේ රටේ පවුල් කීයක් ජීවත් කරවන්න පුළුවන් ද? ඊළඟට ගිය වසරේදී මෙරටට ගෙන්වන පාන්පිටි ප්‍රමාණය සියයට 70 කින් වැඩි වෙලා. 2009, 2010 මේ රටට පාන්පිටි ටොන් ලක්ෂ 9 ක් පමණ ගෙනාවේ. ඒත් 2011 දී එය ටොන් ලක්ෂ 13.5 දක්වා වැඩි වෙලා. එතකොට ගිය අවුරුද්දේ පාන්පිටි ගෙන්වීමට අපේ රට රුපියල් මිලියන 45000 ක් වැය කර තිබෙනවා. ඊළඟට 2010 ජුලි මාසයේ සිට දෙසැම්බර් වෙන විට මෝටර් රථ ගෙන්වීමට ඩොලර් මිලියන 175 ක් වැය වෙලා තිබෙනවා. ඒත් සමඟම පාකිස්ථානයට යන අපේ ජනාධිපතිතුමා එරටින් ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා ගෙන එනවා. එතකොට හිතලා බලන්න අපේ රටේ ඩොලර් ටික නිරපරාදේ විනාශ වෙන ආකාරය.

ඔබ කියන විදියට අපේ රටේ නාස්තිකාර වියදම්වලට ආණ්ඩුව වගකීම බාර ගත යුතු ද?

මෙතැනදී ආණ්ඩුවටත් වඩා රටේ පාලන කටයුතු කරන නිලධාරී පංතිය සහ රටේ ජනතාවට අකමැත්තෙන් වුවත් වගකීම බාර ගැනීමට සිදු වෙනවා. අපේ මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා ලංකාව පුරාම කිරි හරක් ලක්ෂ 15 ක් ඉන්නවා. ඒත් ඒ සත්ත්වයන් ගෙන් කිරි දොවා ගන්නේ සතුන් ලක්ෂ දෙකහමාරක විතරයි. කොතන ද වරද වෙලා තියෙන්නේ. අපේ රටට නවසීලන්තයේ අපේ මුදලින් රුපියල් 1800 ක් වියදම් කරලා හදන කිරිපිටි පැකට් එක රුපියල් 600 ට අපේ රටට ලැබෙනවා. ඇයි ලාබෙට අපේ රටට කිරි පැකට් එක එනවා. අපේ මිනිස්සු ඒක බොනවා. ඒ නිසා අපේ රටේ ජනතාව දේශීය කිරි සම්පත ගැන අවධානය යොමු කළ යුතුයි.

අපේ රටේ නිෂ්පාදනය කෙරෙන කිරිපිටි ප්‍රමාණය රටේ පරිභෝජනයට ප්‍රමාණවත් නැහැ නේද?

අපේ රටේ පරිභෝජනයට මදි කියන කථාව කිය කියා සිටීම කාලය කා දැමීමක්. අපේ රටේ අවශ්‍ය තරම් කිරි සම්පත තියෙනවා. දෙමළ ජනතාව හරකා දෙවියෝ විදියට සලකනවා. අපේ රටේ යාපනය, අනුරාධපුරය, පොළොන්නරුවට කිරිපිටි කර්මාන්ත ශාලා තිබිය යුතුයි. එහෙම නැතිව ඒ කිරිපිටි නවසීලන්තයෙන් ගෙන්වා වැඩක් නැහැ. ආණ්ඩුවේ හයිලන්ඩ් සහ අඹේවෙල කිරි කර්මාන්ත ශාලා තිබෙනවා. ඊළඟට මවුබිම ලංකා පදනම යටතේ මා ඩොලර් මිලියන 1500 ක් වැය කර කිරිපිටි කර්මාන්ත ශාලාවක් පැල්වත්තේ ආරම්භ කළා. හැබැයි අපට පිටරට කිරිපිටි එක්ක විශාල තරගයක් දෙන්න වෙනවා. ඒකට වෙළෙඳ දැන්වීම් පළකොට වැඩක් නෑ. මේ රටේ නිපදවන කිරිපිටි බීලා අපේ රටෙන් පිටරටට යන මුදල් ඉතිරි කිරීම ජනතාවගේ වගකීමක්. එහෙම වුණොත් අපේ රටට ආයෙත් ලෝකයේ උතුම් රට පොහොසත් රටක් වෙන්න පුළුවන්.

අපේ රටේ නිපදවන කිරිපිටි සහ පිටරටින් ගෙන්වන කිරිපිටිවල ගුණාත්මක වෙනසක් තිබෙනවා නේද?

පැහැදිලිවම තිබෙනවා. පිටරටින් ගෙන්වන කිරිපිටිවල ප්‍රෝටින් අයින් කරලා අපේ රටවලට එන්නේ. ඊළඟට ෆාම් ඔයිල් කලවම් කරනවා. මේවා ජනතාව තේරුම් ගත යුතුයි. ඊළඟට මතක තියා ගන්න අපේ රටේ නිපදවන එක කිරිපිටි හැන්දක් නවසීලන්තයට ඕස්ට්‍රේලියාවට ගෙන යන්න බෑ. ඉන්දියාවට ගෙනියනවානම් සියයට 167 ක් බදු ගෙවිය යුතුයි. ජපානයට අපේ රටේ කිරිපිටි ගෙනියනවානම් සියයට 800 ක් බදු ගෙවිය යුතු වෙනවා. මේ ගැන රටේ ජනතාව දෙවරක් සිතා බැලිය යුතුයි. දේශීයව නිපදවන කිරිපිටි පරිභෝජනය කළ යුතුයි.

රටේ සහල් නිෂ්පාදනය වැඩි වුණත් පාන්පිටි සහිත ආහාරවල ඉල්ලුම වැඩි වී තිබෙන බවට වාර්තා පළ වෙනවා?

මෙහෙමයි අපේ රටේ මිනිස්සුන්ට මට පෙන්වා දෙන්න තියෙන්නේ බුදුන් වහන්සේගේ වචනයක්. උන්වහන්සේ කීවා තමන්ගේ පොළවේ වැවෙන්නේ නැති දෙයක් ආහාරයට ගත්තාට පත්තියන් වෙන්නෙ නැහැ කියලා. එතකොට තිරිඟු වැවෙන්නේ ශීත රටවල. ඒවාට තෙල් බෙහෙත් ගහනවා. එහෙව් තිරිඟු පිටි ආහාර අපි ගිල දමනවා. ඊළඟට දියවැඩියාව, ගෑස් කියලා රටේ නැති ලෙඩ හදා ගන්නවා. හැබැයි අපේ රටේ වී නිෂ්පාදනය සියයට 117 කින් වැඩිවෙලා තිබෙනවා. ඒත් ගිය අවුරුද්දේ පාන්පිටි ගෙන්වීම සියයට හැත්තෑවකින් වැඩි වෙලා. ඒ වෙනුවෙන් පිටරටට යන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වෙනවා. අපේ රටට වැඩිම ඩොලර් ප්‍රමාණය ලැබෙන්නේ අපේ අම්මලා අරාබි රටවල දහඩිය මහන්සියෙන් හම්බ කරන මුදල්වලින්. අපි පාන්පිටි, කිරිපිටි ගෙන්වන්න වියදම් කරන්නේ ඒ ඩොලර් ටිකයි.

පාන්පිටි වලින් නිපදවන ආහාරවලින් මිදෙන්න අපේ ජනතාවට බැරි වෙලා තියෙන්නේ ඇයි?

මෙහෙමයි අපි අරාබියේ රැකියා කරන අම්මලා එවන ඩොලර් එක්ක සෙල්ලම් කිරීම මුලින්ම තේරුම් ගත යුතුයි. මම කියන්නේ ඒ ලේ සල්ලි එක්ක සෙල්ලම හොඳ නෑ. කොස්, දෙල්, අල, බතල මේ මහ පොළවේ වැවෙනවා. ඒවාට පොහොර නැත්නම් බෙහෙත් ගහන්න ඕන නැහැ. එහෙව් අපි මොකටද පාන්පිටි ආහාර ගිල දාන්නේ. මේ මෝඩ වැඩේ අපේ ගම්වල අය කරන්නෙ නැහැ. මේක කරන්නෙ නගරාසන්නයේ ජීවත්වන මෝඩයෝ රැළක්. හවසට කොළඹ නගරයේ රවුමක් ගියොත් පාන්පිටි ආහාර කන මෝඩ රැළගේ හැටි තේරෙනවා. අන්තිමට රටේ නැති ලෙඩ හදා ගන්නවා. අපට ඕන තරම් සහල් තිබෙනවා. ඒ නිසා බත් කන්න පුරුදු වීම සහ දේශීය ආහාර රටාවට හුරු වීම තමයි කළ යුතු වෙන්නෙ.

අපේ රටෙන් විදේශ රටවලට ඇදී යන විදේශ මුදල් ප්‍රමාණය නතර කර ගැනීමට රටේ ජනතාවට කළ හැක්කේ කුමක් ද?

අපේ රටේ ජනතාවට ආදර්ශයට ගන්ඩ තියෙන හොඳම උදාහරණය ඉන්දියාව. ඉන්දියාවේ කියන්නේ ඉන්දියානු දේ පාවිච්චි කරන්න ඉන්දියානුවෙක් වෙන්න කියලා. ශ්‍රී ලාංකිකයන්ට කරන්න තියෙන්නෙත් එයමයි. සිංගප්පූරු ජනතාව විදේශ ගමන් යන්නෙ සිංගප්පූරු ගුවන් සේවයේ. ඒත් අපේ ජනතාව පිටරට යන්නේ ශ්‍රී ලංකන් ගුවන් යානාවල නෙමෙයි. ඒ මඟින් පිටරට ඇදී යන ඩොලර් ප්‍රමාණය අති විශාලයි. මේවා ගැන රටේ ජනතාවගේ අවධානය යොමු විය යුතුයි. ඊළඟට කිරිපිටි, පාන්පිටි, රථවාහන ගෙන්වීම ආදිය සඳහා අපේ රටෙන් විදේශ රටවලට යන මුදල් ප්‍රමාණය අඩුකර ගත යුතුයි.

දේශීය ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් මවුබිම ලංකා පදනම ලෙස රටේ ආර්ථිකයට ඔබතුමා ඇතුළු පිරිස දායකත්වය ලබා දෙන්නේ කොහොම ද?

අපි රටේ ජනතාවට දෙන පණිවිඩය අපේ දේ ගන්න කියන පණිවිඩයයි. අපේ දේ කියන්නේ දේශීය නිෂ්පාදනවලට. අපේ රටේ නිපදවන කිරිපිටි, ටින් මාළු ඇතුළු දේශීය දේ අගය කරන්න. පාන්පිටි ආහාර වෙනුවට සහල් පරිභෝජනය වැඩි කර ගන්න. අර්තාපල් වෙනුවට අල, බතල, මඤ්ඤොක්කා, ඉන්නල, කොස්, දෙල්, පොලොස් ආහාර පරිභෝජනය වැඩි කර ගමු. මෙන්න මේ පණිවිඩය සමඟ මවුබිම ලංකා පදනමේ ව්‍යාපාර කටයුතු කරන්නේ. දැන් සූර්ය සිංහ ලාංඡනයෙන් පැල්වත්තේ නිපදවන කිරිපිටි, යෝගට්, කිරි බෝතල් වෙළෙඳපොළට ඇවිත් තිබෙනවා. මේ නිෂ්පාදනවලින් එක සතයක්වත් පිටරටට ඇදී යන්නේ නෑ. ඒ නිසා මවුබිම ලංකා පදනම රටේ ආර්ථිකයට විශාල සවියක් ලබා දෙනවා.

ඔබට අවසාන වශයෙන් අපේ ජනතාවට ලබා දිය හැකි පණිවිඩය කුමක් ද?

දැන් වැඩිහිටියන්ගේ කාලය ඉවරයි. ඒ නිසා අපේ අනාගත පරපුර තරුණ පරපුර ගැන සිතීම රටේ ජනතාවගේ යුතුකමක්. පොහොසත් කියන රටවල ජරාවට රැවටෙන්න එපා. අනික ඒකීය සහ එක්සත් කියන වචනයට අපි රණ්ඩු වෙනවා. ඒ පොඩි වෙනස තේරෙනවානම් පිටරටින් ගෙන්වන කිරි පැකට්ටුව සහ මෙරට නිපදවන කිරි පැකට්ටුවේ වෙනස තේරුම් ගන්න. මේ රටේ සාක්ෂරතාවය වැඩියි. අපි පොත්පත් කියවන මිනිස්සු. ඒ නිසා ජාතික යුතුකම ඉටු කරන්න. ඒ සඳහා පෙළ ගැහෙන්න.


සංවාද සටහන - චන්දන බණ්ඩාර
ඡායාරූපය - විමල් කරුණාතිලක

http://www.silumina.lk/2012/02/26/_art.asp?fn=af1202266

No comments:

Post a Comment