Tuesday, February 28, 2012

විදේශිකයකු සතු පාසිකුඩා ඉඩමක්‌ හොර ඔප්පු හදා විකිණූ කල්ලිය අල්ලයි

හේමන්ත රන්දුණු

මඩකලපුව පාසිකුඩා ප්‍රදේශයේ පිහිටි විදේශිකයකුට අයත් රුපියල් ලක්‍ෂ 1680 වටිනා ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස්‌ කර හොර රහසේම එය විකිණූ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ මඩකලපුව වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සංවිධානාත්මක කණ්‌ඩායමට මඩකලපුව දිසා ලේකම් කාර්යාලයේ සේවකයන් දෙදෙනකු ග්‍රාම නිලධාරියකු, නොතාරිස්‌වරයකු ඇතුළු පස්‌ දෙනෙකු සම්බන්ධවී සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් මෙම ව්‍යාජ ඔප්පු සකස්‌ කර අක්‌කර 4 1/2 ක ඉඩම විකුණා දමා ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බවද හෙළිවී තිබේ.

මඩකලපුව පාසිකුඩා සංචාරක කලාපයේ පිහිටි මෙම ඉඩම විදේශිකයා විසින් මිලදී ගෙන ඇත්තේ 1979 වර්ෂයේදී රුපියල් එක්‌ ලක්‍ෂ දාහතර දහසකටය.

පසුව එම ඉඩම සංවර්ධනය කිරීමේ කටයුතු ශ්‍රී ලාංකිකයකුට පැවරූ විදේශිකයා රටින් පිටව ගොස්‌ තිබේ.

යුද්ධය නිමාවීමෙන් පසු එම ඉඩම පරීක්‍ෂා කරද්දී සංවිධානාත්මක පිරිසක්‌ ඊට ව්‍යාජ ඔප්පු සකස්‌කර අලෙවිකර ඇති බව අනාවරණය වී තිබේ.

මඩකලපුව වංචා විමර්ශන අංශයේ ස්‌ථානාධිපති සනත් බණ්‌ඩාර මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවිය.

නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ජගත් අබේසිරිගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න, පොලිස්‌ අධිකාරි අජන්ත සමරකෝන්, සහකාර පොලිස්‌ අධිකාරි ලාල් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සහන් බණ්‌ඩාර ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.


http://www.divaina.com/2012/02/28/news09.html

No comments:

Post a Comment