Tuesday, February 21, 2012

කරාපිටියේ හෙල්මුට්‌ කෝල් මාතෘ රෝහලේ ඉදිකිරීම් නැවතිලා

කෝටි ගණනක යකඩ දිරා යනවා 

කරාපිටිය - අජිත් නීරෝෂන්

කරාපිටියේ ඉදිකිරීම් ආරම්භ කළ හෙල්මුට්‌ කෝල් මාතෘ රෝහල තැනීම මේ වන විට නතර වී ඇත. ඉඳිකිරීම් සඳහා ගෙනෙන ලද කෝටි ගණනක්‌ වටිනා යකඩ දිරායමින් පවතියි. අත්තිවාරමේ ජලය පිරී මදුරුවන්ගේ රජදහනක්‌ බවට පත්ව ඇත.

2005 දෙසැම්බර් 27 දින අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සහ සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මුල්ගල් තබා මෙහි ඉදිකිරීම් අරඹා ඇත. වසරක්‌ පමණ ඉදිකිරීම් ක්‍රියාත්මක කොට දැනට අවුරුදු පහක්‌ තිස්‌සේ නතරව ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවට ඇත්තේ බරපතළ සැකයකි. සුනාමි අත්දැකීමට මුහුණ දුන් හෙල්මුට්‌ කෝල් මහතා විසින් මෙරට ජනතාවට පිරිනැමූ ත්‍යාගයක්‌ ලෙස තම පදනමෙන් හා ජර්මන් ජනතාවගේ අරමුදල් මඟින් රුපියල් කෝටි 300 කට අධික මුදලක්‌ මේ සඳහා ලබාදී ඇත. සුනාමියෙන් හානිවූ මහමෝදර මාතෘ රෝහල වෙනුවට මෙම රෝහල ඉදිකිරීම එම අරමුදල් හරහා සිදුවිය. කරාපිටිය ශික්‌ෂණ, රෝහල පෙනෙන මානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි පොළවට සමතලා කොට නව රෝහල තැනීම අද වනවිට අන්තිවාරමට පමණක්‌ සීමා වී ඇත.

මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාව මෙලෙස අදහස්‌ දක්‌වති. මේ අපරාධය ගැන හෙල්මුට්‌ කෝල් මහත්තයා දන්නවානම් ලංකාවට පිටරටින් ශත පහක්‌ දෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ මහතා වහ කයි. පසුගිය මාස වල ඩෙංගු රෝගීන් 17 දෙනකු මේ අවටින් හමුවුණා. රෝහල් අත්තිවාරමේ ජල පොකුණුවල මදුරු කීටයන් හමුවුණා. අද රෝහල වෙනුවට ජීවිත වලට තර්ජනයක්‌ මදුරුවන්ගේ රජ දහනක්‌ බවට පත්වෙලා. කව්රු මේ මූල්‍ය වංචාව කළාද අපි දන්නේ නැහැ. අපි ඉල්ලන්නේ එකයි.

මේ රෝහල හදන්න බැරිනම් මේ අත්තිවාරම පොළවට සමතලා කරලා දාන්න. නැතිනම් රජයේ ඵලදායි වැඩකට භාවිතා කරන්න. අපි අවුරුදු ගණනාවක්‌ මේ ගැන හඬ නැඟුවා. දේශපාලනඥයින්, බලධාරීන් රටේ මාධ්‍ය නිහඬයි.

පසුගියදා, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා රෝහල් භූමියට පැමිණ නිරීක්‍ෂණයක නිරත විය. එහිදී ඔහු මෙලෙස කීය. මේක විශාල අපරාධයක්‌. මේ ගැන මා පාර්ලිමේන්තුවේ දී කථා කරද්දි ඇමැතිවරුන් නිහඬයි. මා නැවත පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරනවා. ඒ විතරක්‌ නෙවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

රෝහලක්‌ හදන්න ගොස්‌ ජනතාව රෝගීන් නොකිරීම වගකිවයුතු සියලු දෙනාගේ වගකීම බව තේරුම් ගත යුතුයි.


http://www.divaina.com/2012/02/21/news07.html

No comments:

Post a Comment