Friday, February 24, 2012

තෙල් සංස්‌ථා නිදහස්‌ සේවක සංගමයේ 50 දෙනකුට අතිකාල වාසනා ලැබේ!

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ක්‍රියාකාරීන් පනස්‌දෙනකුට එක්‌ අයකුට පැය පනහ බැගින් අතිකාල ගෙවීමට අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ හා අමාත්‍යාංශයේ අනුමැතිය පළවී තිබේ.

මේ අනුව නිදහස්‌ සේවක සංගමයේ පනස්‌ දෙනකු වෙනුවෙන් මසකට රුපියල් හත්ලක්‍ෂ පනස්‌දහසකට වැඩි මුදලක්‌ අතිරේකව දැරීමට සංස්‌ථාවට සිදුව ඇත.

තෙල් සංස්‌ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට ගොස්‌ තිබියදී නිදහස්‌ සේවක සංගමයේ උදවියට පමණක්‌ අතිකාල පැය පනහක්‌ වෙන් කිරීම අසාධාරණ බව සෙසු වෘත්තීය සමිති නායකයෝ පවසති.

ඉන්ධන මිල ඉහළ යැම හා ඊට සමගාමීව සෙසු සෑම දෙයකම මිල ගණන් ඉහළ ගොස්‌ තිබෙන මේ මොහොතේ අතිකාල පැය පනහක්‌ ලබා ගැනීමේ වරදක්‌ නැතැයි තෙල් සංස්‌ථා ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සභාපති හා තෙල් සංස්‌ථා අධ්‍යක්‍ෂ සමන් කුමාර මහතා "දිවයින"ට පැවැසීය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සහ සිලෝන් ස්‌ටෝරේඡ් ටර්මිනල් (තෙල් තොග පර්යන්ත) සමාගමෙහි සේවය කරන හත්දහසක්‌ පමණ වන සාමාන්‍ය සේවකයන්ට අතිකාල සේවයේ නිරතවීමට ඉඩ තිබුණද වෘත්තීය සමිති නායකයන්ට එම අවස්‌ථාව නොමැති නිසා මෙලෙස අතිකාල ඉල්ලූ බව ද ඒ මහතා පැවැසීය.

පසුගිය වසර හතේදී ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ ප්‍රධානීන් අතිකාල ලබා නොගත් බවත් බාල පෙට්‍රල් සිද්ධිය හා ආයතනයේ වංචා දූෂණ, අක්‍රමිකතා වසා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ සාමාජිකයන් සතුටු කිරීමට මෙලෙස අතිකාල සඳහා අනුමැතිය ලබාදී ඇතැයි හිටපු ශ්‍රී ලංකා නිදහස්‌ සේවක සංගමයේ නායකයෝ පැවැසූහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජිකයන්ට පමණක්‌ අතිකාල ලබාදී ලංකා පොදු සේවක සංගමය සහ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට අතිකාල නොගෙවීමද අසාධාරණ යෑයි ඔව්හු කියති.


http://www.divaina.com/2012/02/24/news04.html

No comments:

Post a Comment