Tuesday, February 28, 2012

පැල්වත්ත, සෙවණගල සීනි කර්මාන්ත ශාලාවලට හා වගාවන්ට කළ හානිය පිළිබඳ මාධ්‍යයට හෙළි කරන්න

- ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න

අජිත් අලහකෝන්

පැල්වත්ත - සෙවණගල සීනි කර්මාන්ත ශාලාවලට සහ වගාවන්ට කළ හානිය පිළිබඳ මාධ්‍යයට හෙළි කරන්නැයි ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා එම කම්හල්වල සේවකයන්ට පැවසුවේය.

පැල්වත්ත - සෙවණගල නිරීක්‌ෂණ සංචාරයකදී ඇමැති ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම කම්හල්වලට කළ අපරාධය, සියයට දහයක කොටස්‌ කොල්ල කෑ අයුරු, උචිත නොවන පොහොර ලබාදී වගාවට කළ හානිය මාධ්‍යයට හෙළිකරන ලෙසය. මෙම කම්හල් විනාශ කර අවසානයේ දී ඉතිරි වූයේ රොඩ්ඩ පමණක්‌ බවද කී ඇමැතිවරයා අරක්‌කු නිෂ්පාදනයට නොව මෙම කර්මාන්ත ශාලා තිබෙන්නේ රටට අවශ්‍ය සීනි නිෂ්පාදනය කිරීම සඳහා බවද කීය.

පැල්වත්ත කම්හලේ වැඩ මාර්තු 05 දා අරඹන බවද කී ඇමැතිවරයා පැල්වත්ත සහ සෙවණගල ගොඩගැනීමේ කටයුත්ත ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් තමන්ට පැවරූ බවද කීය.

පැල්වත්ත විනයක්‌ නැති ආයතනයක්‌ බවට පත්ව ඇතැයිද කී ඇමැතිවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය සීනි ප්‍රමාණය රට තුළම නිෂ්පාදනය කළ හැකිනම් ලබන වසර වන විට සීනි අපනයනය කරන තරමට දියුණු කළ යුතු බවද කීය.

මෙම අවස්‌ථාවට අමාත්‍යාංශ ලේකම් ලලිත් කන්නන්ගර, ජ්‍යෙෂ්ඨ උපදේශක හිලරි පෙරේරා, පෞද්ගලික ලේකම් අජිත් පතිරණ, ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂිකා තිලකා ජයසුන්දර යන අයද සහභාගි වූහ.


http://www.divaina.com/2012/02/28/news18.html

No comments:

Post a Comment