Monday, February 20, 2012

විදුලි ගාස්‌තුව වැඩි කළත් මේ වසරේ මණ්‌ඩලයට බිලියන 34 ක්‌ පාඩුයි

ශිරාන් රණසිංහ

ඉන්ධන මිල ඉහළ යැමට සාපේක්‍ෂව විදුලි ගාස්‌තුව සියයට විසිතුනකින් වැඩි කළ ද මෙම වසරේදී ලංකා විදුලිබල මණ්‌ඩලයට රුපියල් බිලියන තිස්‌හතරක පාඩුවක්‌ සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා "දිවයින"ට පැවැසීය.

මෙරට සමස්‌ත විදුලියෙන් සියයට අසූපහක්‌ම ඉන්ධන මගින් ජනනය කරන බවද ඇමැතිවරයා කීවේය.

ගාස්‌තු සංශෝධනයට පෙර මෙම වසර අවසානයේ විදුලිබල මණ්‌ඩලයට සිදුවන පාඩුව රුපියල් බිලියන 40 ක්‌ ලෙස ගණනය කර තිබූ බවත් ගාස්‌තු සංශෝධනයෙන් පසු අතිරේකව රුපියල් බිලියන විසිනවයක්‌ විදුලිබල මණ්‌ඩලයට ලැබුණද, තවත් රුපියල් බිලියන එකොළහක පාඩුවක්‌ සිදුවන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම වසර අවසානයේදී විදුලිබල මණ්‌ඩලයට අත්වන පාඩුව රුපියල් බිලියන තිස්‌හතරක්‌ ඉක්‌ම වනු ඇතැයි ද ඇමැතිවරයා සංඛ්‍යාලේඛන උපුටා දක්‌වමින් කියා සිටියේය.

දැවි තෙල් මිල රුපියල් 40 සිට 65 දක්‌වා ද, ඩීසල් ලීටරය රුපියල් 76 සිට 115 දක්‌වාද, නැප්තා ලීටරය රුපියල් 52 සිට 98 දක්‌වා වැඩි වූ බැවින් විදුලිබල නිෂ්පාදන වියදම ද විශාල ලෙස ඉහළ ගොස්‌ ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව වැඩිම විදුලි ප්‍රමාණයක්‌ භාවිතයට ගන්නා කර්මාන්ත හා වාණිජ්‍ය ක්‍ෂෙත්‍රවලට සියයට 15 ක ඉන්ධන ගැලපුම් ගාස්‌තු වැඩිවීමක්‌ද, සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් සියයට විසිපහකින්ද, ගෘහස්‌ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට කොටස්‌ තුනක්‌ යටතේ සියයට 25, සියයට 35 සියයට 40 බැගින් වැඩි කළ බවද ඇමැතිවරයා පැවැසීය.

ඉන්ධන මිල ගණන් ඉහළ යැම ලෝකයේම ආර්ථිකයන්ට අනිසි බලපෑම් කර ඇති බවද පසුගිය 2011 වසරේ ජුලි මාසයේදී තමා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට පත්‍රිකාවක්‌ ඉදිරිපත් කරමින් විදුලිය, ඉන්ධන වැනි ක්‍ෂෙත්‍රවලට මිල සූත්‍රයක්‌ සැකසිය යුතු බවට යෝජනා කළ බවද ඇමැතිවරයා සිහි කළේය.

මෙලෙස ඉන්ධන මිල ඉහළ යැම, ඊට පසුව බස්‌ ගාස්‌තු, විදුලි ගාස්‌තු, ජල ගාස්‌තු වැඩිවීම රටටත්, රටේ ජනතාවටත් විශාල ප්‍රශ්නයක්‌ බැවින් ඊට මුහුණ දීමට නම් ඉහළ සිට පහළටම යන තෙක්‌ අරපරිස්‌සමින් විදුලිය, ඉන්ධන ආදිය පරිභෝජනය කරමින් නාස්‌තිය වැළැක්‌විය යුතු බවද ඇමැතිවරයා පැවැසීය.


http://www.divaina.com/2012/02/20/news09.html

No comments:

Post a Comment