Wednesday, February 29, 2012

අක්‌කරේපත්තුව රෝහලේ කෝටියකට අධික වංචාවක්‌

- ජනාධිපති විමර්ශන ඒකකයෙන් පරීක්‍ෂණ

නෝමන් පලිහවඩන

අක්‌කරෙපත්තුව රජයේ රෝහලේ සිදුවී ඇති රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක්‌ පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකය පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇත.

මෙම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භාණ්‌ඩ රැසක්‌ ගෙන්වා ගැනීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක්‌ වැයකර ඇතත් මේ වනතුරුත් එම භාණ්‌ඩ රෝහලට ලැබී නැතැයි ජනාධිපති විමර්ශන ඒකකය පවසයි.

රජය මේ සඳහා මුදල් වැය කර ඇත්තේ 2008-2009 වසරක කාලයක්‌ තුළ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

මේ යටතේ සැත්කම් සඳහා අවශ්‍ය කරන මේසයක්‌ ගෙන්වා ඇතත් එම මේසය වෙනත් රෝහලකින් ඉවත් කරන ලද එකක්‌ බව ද හෙළිවී ඇත.

සෙසු උපකරණ සහ භාණ්‌ඩවලට කුමක්‌ සිදුවී ඇතිදැයි ජනාධිපති විමර්ශන ඒකකය එම රෝහලේ වෛද්‍ය නිලධාරිවරයකුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇත.

මෙම උපකරණ සහ භාණ්‌ඩ සියල්ලම රාජගිරියේ පිහිටි ආයතනයකින් ගෙන්වා ගත් බවට ලියකියවිලි ඉදිරිපත් කර ඇතත් එම ආයතනය ද දැනට වසා දමා තිබේ.

එම භාණ්‌ඩ සහ උපකරණ තොගය රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ මගින් රෝහලට නොමිලේ පරිත්‍යාග කර ඇති බවට ලියකියවිලි ද ජනාධිපති විමර්ශන අංශය විසින් සොයාගෙන ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

තත්ත්වය මෙසේ තිබියදී මෙම භාණ්‌ඩ සහ උපකරණ මිලට ලබාගැනීම සඳහා රජයෙන් ලබාදුන් රුපියල් කෝටියකට ආසන්න මුදලට කුමක්‌ සිදුවී ඇතිදැයි පරීක්‍ෂණ පවත්වන ජනාධිපති විමර්ශන ඒකකය කියයි.

එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන මගින් නොමිලේ ලබාදුන් බව කියනු ලබන භාණ්‌ඩ සහ උපකරණ තොගයට අත් වූ ඉරණම පිළිබඳව ද අදාළ වෛද්‍ය නිලධාරිවරයාගෙන් දැන් ප්‍රශ්න කරගෙන යයි.


http://www.divaina.com/2012/02/29/news08.html

No comments:

Post a Comment