Wednesday, February 29, 2012

Milk powder, Wheat flour prices to increase? (2 items)

කිරිපිටි මිල වැඩි කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග - ආනයනික සමාගම් කියයි

ගයාත්‍රි ගීගනආරච්චි

කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිල රුපියල් 15 කින් වැඩිකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර නොදෙන්නේ නම් ඒ සඳහා අධිකරණයේ සහය පැතීමට කටයුතු කරන බව ප්‍රධාන පෙළේ කිරිපිටි ආනයන සමාගම් අවධාරණය කරති.

මේ සඳහා අවසර දීමක් හෝ සාකච්ඡාවක් ඊයේ (28) සවස වනතුරුත් පාරිභෝගික අධිකාරියෙන් තම සමාගම් වෙත ලබා නොදුන් බවත්, මීට පිළිතුරු සැපයීම අදාළ නිලධාරීන් විසින් මඟහරින බවත්, එම ආනයන සමාගම් පෙන්වා දෙති.කිරිපිටි සමාගම් මිල වැඩිවීමක් ඉල්ලා සිටින්නේ රුපියල අව ප්‍රමාණය වීම තුළ ලෝක වෙළෙඳ‍පොළේ ඩොලරයේ අගය ඉහළ යාමෙන් ඇතිවී තිබෙන වෙනස පියවා ගැනීමට බවත්, මේ තත්ත්වය තුළ කිරිපිටි ආනයනය කිරීම ගැටලු සහගත වී තිබෙන බවත්, ආනයනකරුවෝ පවසති.

මේ වන විට මෙම ප්‍රශ්නය නිසා කිරිපිටි සමාගම් කිරිපිටි කිලෝග්‍රෑම් එකකට රුපියල් 37ක පාඩුවක් ලබන බවත්, එය මසකට මෙරටට ආනයනය කරන ටොන් 6000 ට රුපියල් මිලියන 220 ක් පමණ වී ඇති බවත් ඔවුහු අවධාරණය කරති.

මේ හේතුවෙන් ඇතැම් සමාගම් දැනටමත් කිරිපිටි අලුතින් ආනයනය කිරීම නවතා ඇති බවත්, එසේ වුවහොත් ඉදිරි සති දෙක තුළ වෙළෙඳපළේ විශාල කිරිපිටි හිඟයක් ඇතිවිය හැකි බවත්, අදාළ සමාගම් පෙන්වා දෙති.

මිළ වැඩි කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අදින් (29) පසු අවසන් තීරණයකට එළඹෙන බව ද එම සමාගම් ප්‍රකාශ කරයි.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2126:mfgjhghjj&catid=82:us-politics&Itemid=535


තිරිඟු පිටි මිල වැඩි කරන්න අවසර දෙන්න - ආනයනික සමාගම් අධිකාරියෙන් ඉල්ලයි

ගයාත්‍රි ගීගනආරච්චි

තිරිඟු පිටි මිල වැඩි කරන ලෙස අදාළ ආනයනික සමාගම් විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම යන කාරණා පදනම් කර ගනිමින් එම සමාගම් මිල වැඩි කිරීමට අවසර දෙන ලෙස පාරිභෝගික අධිකාරියට දැනුම් දී ඇත. තිරිඟු ඇට ආනයන බද්ද අඩු කරතොත් පිටි මිල වැඩිකිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, අඩු නොකළහොත් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 6ත් 7ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදුවන බවත් එම සමාගම් පෙන්වා දෙයි.

මේ පිළිබඳව විමසීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය සාර්ථක වූයේ නැත.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2125:ddfhgh&catid=82:us-politics&Itemid=535

No comments:

Post a Comment