Tuesday, February 28, 2012

දුම්වැටි හා මත් උවදුර මඬින්න සබරගමු පළාත් සභාව පෙරට එයි

සබරගමුව පළාතේ මත් ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය අවම කිරීම සඳහා විශේෂ වැඩසටහනක්‌ සබරගමුව පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇත. රත්නපුර සහ කෑගල්ල දිස්‌ත්‍රික්‌ක දෙකෙහි දිසා ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, පොලිසිය, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී ඇතුළු රාජ්‍ය හා ස්‌වෙච්ඡා සංවිධාන මෙම වැඩසටහන සඳහා දායක කරගෙන ඇත.

මැතිවරණ කොට්‌ඨාස මට්‌ටමින් ක්‍රියාත්මක කෙරෙන මෙම මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය අවම කිරීමේ ව්‍යාපෘතිය කෑගල්ල මැතිවරණ කොට්‌ඨාසයේ සණස මණ්‌ඩපයේදී පසුගියදා ආරම්භ විය.

මෙම අවස්‌ථාවට පළාත් ආණ්‌ඩුකාර වි. ජ. මු. ලොකු බණ්‌ඩාර ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුද සහභාගි වූහ.

මෙම මත් ද්‍රව්‍ය අලෙවිය සහ භාවිතය අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ නීති විරෝධී මත්ද්‍රව්‍ය හා දුම්වැටි අලෙවි කරන සහ ළඟ තබාගන්නා පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා පොලිසිය ඇතුළු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරනු ලැබීය.

මීට අමතරව වෙළෙඳ ප්‍රජාව දැනුවත් කර දුම්වැටි අළෙවි කිරීම නතර කිරීමටද මෙහිදී තීරණය කරනු ලැබීය.

එමෙන්ම නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන හා ඒවාට ඇබ්බැහි වන පුද්ගලයන් සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ද සකස්‌ කර ඇත.

නීති විරෝධී මත්ද්‍රව්‍ය අලෙවි කරන හා නිපදවන්නන් ඉන් මුදාගෙන වෙනත් ව්‍යාපාර සහ ස්‌වයං රැකියා සඳහා යොමුකිරීමටත් ඊට අවශ්‍ය පුහුණුව, බැංකු ණය හා අධාර ලබාදීමටත් කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්‌ථානවලට යොමුකර ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා පවුල් ජීවිතය නඟාසිටුවීමට කටයුතු කිරීමද මෙහි තවත් කාර්යක්‌ යෑයිද සබරගමුව පළාත් සභාව කියයි.


http://www.divaina.com/2012/02/28/provin02.html

No comments:

Post a Comment