Tuesday, February 21, 2012

ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයෝ නිදහස්

මහින්ද අලුත්ගෙදර

ඉන්දීය අත් අඩංගුවේ සිටි ශ්‍රී ලාංකීය ධීවරයන් සහ ඔවුන් සතුවූ බෝට්ටු සියල්ල නිදහස් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.

අවසන් වරට ඉන්දීය අත් අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකීය ධීවරයන් 25 දෙනකු වෙනුවෙන් දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඊයේ (20) නිදහස් කළ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව සඳහන් කළේ “දිනමිණ” ට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කලක සිට වරින් වර ශ්‍රී ලාංකික ධීවරයන් මුහුදු සීමාව උල්ලංඝනය කිරීම් ඇතුළුව විවිධ හේතූන් මත ඉන්දියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූ බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ, ධීවර ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරුන් ඉන්දීය රජය සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මේ පිරිස නිදහස් කර ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.

ඊට අමතරව ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේදී යම් හෙයකින් ශ්‍රී ලාංකික ධීවරයෙක් ඉන්දීය ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූයේ නම් දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීම මත කාර්යක්ෂමව හා කඩිනමින් නිදහස් කිරීමට පියවර ගන්නා බවය.

යම් යම් අවස්ථාවලදී ශ්‍රී ලංකා හා ඉන්දීය ධීවරයන් මුහුණ දුන් ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් හරහා සාකච්ඡා කළ බව සිහිපත් කළ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ධීවරයන් සම්බන්ධ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එය අතිශය ප්‍රයෝජනවත් වූ බව ද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී විශේෂ අවධානය යොමු කිරීම මෙන්ම ඔවුන් පිළිබඳව මානුෂික අන්දමින් සළකා මේ පියවර ගෙන තිබෙන බවත්, මෙය දෙරටේ ධීවරයන්ට තම වෘත්තිය බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ප්‍රයෝජනවත් වන බව ද කීවේය.

එක් අවස්ථාවකදී නොව අවස්ථා කිහිපයකදී ඉන්දීය රජයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා සහ ඔවුන් සතු වූ ණවර යාත්‍රා නිදහස් කර ගැනීමට හැකි වී තිබෙන බව ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කරයි.


http://www.dinamina.lk/2012/02/21/_art.asp?fn=n1202218

No comments:

Post a Comment