Saturday, February 25, 2012

ලුණුගම්වෙහෙරේ දී වෙඩි වැදුණු වල් අලියා මියයයි - රැකවරණ දුන් අලියා නිර්වින්දය කර අල්ලයි

දෙබරවැව - ඒ. ඒ. පේමසිරි

වනජීවි නිලධාරීන් සහ යුද හමුදාව එක්‌ව ලුණුගම්වෙහෙර වැලිගත්ත කුඩා ගම්මාන 10, ප්‍රදේශයේදී සිදුකළ අලි පළවාහැරීමේ මෙහෙයුමේදී වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි වල් අලියා ඊයේ (24 වැනිදා) මියගොස්‌ තිබේ. හෙද සිසුවියක වල්අලි පහර කෑමට ලක්‌ව මියගිය ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 10 ප්‍රදේශයට ඉකුත් 22 වැනිදා රාත්‍රියේ නැවත වල් අලි තිදෙනකු කඩාවැදී තිබිණි.

එහිදී එම අලි පළවා හරිමින් සිටි නිලධාරීන්ටද ඔවුන් පහර දී තිබේ. වනජීවි නිලධාරීන් වල් අලි පළවා හැරීමට එල්ල කළ ප්‍රහාරයෙන් මෙම අලියාට වෙඩි වැදී බිම ඇදවැටී ඇත.

මෙසේ බිම ඇදවැටී සිටි වල් අලියාට රැකවරණය සපයමින් තවත් වල් අලියකු තුවාල ලැබූ අලියා අසල දවස පුරාම රැඳී සිටිනු දක්‌නට ලැබිණි.

මේ නිසා තුවාල ලැබූ වල් අලියාට ප්‍රතිකාර කිරීමට පසු දින සවස්‌වන තුරුත් වනජීවි නිලධාරීන්ට නොහැකි විය.

ගමට කඩා වැදී සිටින මෙම අලියා නිසා ප්‍රදේශයේ පැවැතියේ අනාරක්‍ෂිත තත්ත්වයකි. මේ නිසා තුවාල ලැබූ වල් අලියාට රැකවරණය ලබාදුන් වල් අලියාද නිර්වින්දනය කර අල්ලා ගැනීමේ මෙහෙයුමක්‌ වනජීවි නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරනු ලැබිණ. මේ අනුව එම වල් අලියාද නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවි නිලධාරීහු සමත් වූහ.


http://www.divaina.com/2012/02/25/news04.html

No comments:

Post a Comment