Tuesday, February 21, 2012

පොලිස්‌ කොමිසමට බලතල තිබෙන්නේ ජනතා පැමිණිලි භාර ගැනීමට පමණයිලූ

චමින්ද සිල්වා

ජාතික පොලිස්‌ කොමිසම ස්‌ථාපනය කරනු ලැබුවත් එයට බලතල තිබෙන්නේ මහජන පැමිණිලි භාර ගැනීමට පමණක්‌ යෑයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ස්‌ථාපනය කරන ලද පොලිස්‌ කොමිසම සඳහා උප පොලිස්‌ පරීක්‍ෂක තනතුරෙන් ඉහළ නිලධාරීන් මාරුකිරීම, උසස්‌ කිරීම, විනය කටයුතු කිරීම, දේශපාලන මැදිහත්වීම් වලින් නිලධාරීන් ආරක්‍ෂා කිරීම ඇතුළු බලතල කිහිපයක්‌ පැවරී තිබිණි.

එහෙත් 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඇතිකිරීමත් සමඟ පොලිස්‌ කොමිසමට පැවරී තිබූ සියලු බලතල රාජ්‍ය සේවා කොමිසමට පවරා ඇත. එසේ තිබියදී නැවත ස්‌ථාපනය කරන ලද පොලිස්‌ කොමිසමට බලය පැවරීමට නම් 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම හෝ 17 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කළයුතු බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වසර තුනක පමණ කාලයක්‌ නිලධාරීන් පත් නොකිරීම නිසා අක්‍රීය වී තිබූ කොමිසමට නව නිලධාරීන් පත්කරනු ලැබුවත් ඔවුන්ට බලය පැවරී ඇත්තේ මහජන පැමිණිලි භාරගැනීමට සහ ඒවා විභාග කිරීමට පමණක්‌ බවද එම පැමිණිලි විභාග කරනු ලැබුවද සුදුසු පියවර ගැනීම සඳහා නැවත රාජ්‍ය සේවා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සිදුවී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියාසිටී.


http://www.divaina.com/2012/02/21/news10.html

No comments:

Post a Comment