Monday, February 20, 2012

Kerosene subsidies (2 items)

දිස්ත්‍රික්ක 25ක කොට්ඨාශ 330ක භූමිතෙල් සහනාධාරය ක්‍රියාත්මක යි

මහින්ද අලුත්ගෙදර සහ දෙල්ගොඩ සමූහ

විදුලිය නොමැති පවුල් වෙනුවෙන් රජය ලබාදෙන භූමිතෙල් සහනාධාරය ඊයේ (19) සිට ක්‍රියාත්මක වන බව රජය අවධාරණය කරයි.

භූමිතෙල් මිල ඉහළයාම හේතුවෙන් සිදුවන දුෂ්කරතාවයන්ට ප්‍රතිචාර දක්වමින් මෙම භූමිතෙල් සහනාධාරය ලබාදීමට රජය තීරණය කළ අතර දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330 ක් සඳහා මෙම සහනාධාරය ලබාදීමට තීරණය කර ඇතැයි සමෘද්ධි කොමසාරිස් ජනරාල් චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මිය “දිනමිණ” ට ප්‍රකාශ කළාය.

ඒ අනුව විදුලිය නොමැති සෑම පවුලක් සඳහාම මසකට රුපියල් දෙසීයක වටිනාකමකින් යුතු භූමිතෙල් සහනාධාරය ලබාදීමට නියමිත අතර වතුකරය ඇතුළුව ග්‍රාමීය ප්‍රදේශවල පවුල් ලක්ෂ 05 කට පමණ මෙම සහනාධාරය හිමිවන බවද ඒ මහත්මිය පෙන්වා දුන්නාය. විදුලිය නොමැති සෑම පවුලක් වෙනුවෙන්ම මසකට රුපියල් 200 ක භූමිතෙල් සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර භූමිතෙල් සහනාධාරය සදහා රජය මසකට රුපියල් මිලියන අසුවක් පමණ වැය කරයි.

සමෘද්ධි ලාභීන්ට සහ සමෘද්ධි ලාභී නොවන අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් මාර්ගයෙන් මෙම සහනාධාරය ලබාගත හැකි බවද සමෘද්ධි කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

දිවයිනේ විදුලිය නොමැති සියලුම ගෘහයන් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පසුගිය 15 සිට බලපැවැත්වෙන පරිදි භූමිතෙල් සහනාධාරය ලබාදීමට පියවර ගෙන තිබෙන අතර සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් එය ලබා දීමට කටයුතු කර ඇත.

මේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මඟින් සම්බන්ධීකරණය කරන අතර ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවයි.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=p1202202


පුත්තලමේ ධීවරයන්ට ඉන්ධන සහන දෙයි

පුත්තලම සමූහ වාර්තාකරු ඩබ්ලිව්. සී. බී. ප්‍රනාන්දු

පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයන්ට වහාම ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා “ධීවර හදිසි සහනාධාර – 01” නමින් වූ චක්‍රලේඛයක් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනටමත් යවා ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා දිසාපති කිංස්ලි ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ හලාවත පම්බල පිහිටි වයඹ පළාත් ධීවර අමාත්‍යාංශයේදී ඉකුත් 15 දා පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදීය. වයඹ පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස, ඉදිකිරීම් හා ධීවර අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා විසින් කැඳවා තිබූ මෙම රැස්වීමට ධීවර නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයෝද සහභාගි වූහ.

එම චක්‍රලේඛයට අනුව ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන් හා ධීවර සමිති නියෝජිතයන්ගේ නිර්දේශයන්ට අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ වහාම ක්‍රියාත්මක කෙරෙන බවත් මෙහිදී වැඩිදුරටත් පැවසූ පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා දිසාපති කිංස්ලි ප්‍රනාන්දු මහතා මේ වෙනුවෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් දෛනික ගොනු පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බවත් පැවැසීය.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=p1202203

No comments:

Post a Comment