Friday, February 17, 2012

දුම්බීම නිසා අපේ රටේ දිනකට 55 දෙනකු මියයනවා

- ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පර්වින්

සී. එම්. ආරියපාල - තඹුත්තේගම

වෛද්‍යවරයකු හෝ පොලිස්‌ නිලධාරියකු වූ පමණින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධ උපදේශකයකු නොවන බවත්, ඒ හා සම්බන්ධ හොඳ අධ්‍යාපනයක්‌ ලබා පුහුණුවක්‌ ලැබිය යුතු පුද්ගලයකු විය යුතු බවත් මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යක්‍ෂ, කේ. ඒ. ඩී. අනුරුද්ධ මහතා පසුගියදා (29 දා) අනුරාධපුර මහ ලේකම් කාර්යාලයේ දී පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

මත්ද්‍රව්‍ය නිවාරණය හරිහැටි සිදුකර තිබුණේ නම් අනුරාධපුර නගරය මීට වඩා හොඳ සුන්දර නගරයක්‌ බවට පත්කළ හැකි බව ඒ මහතා එහිදී අවධාරණය කළේය. එසේම මත්ද්‍රව්‍ය සියදිවි හානි කර ගැනීම්වලටත් මූලික හේතුවක්‌ වී ඇති බව පැවසූ ඒ මහතා පෙන්වා දී සිටියේ 1995 වර්ෂයේ දී සියදිවි හානිකර ගැනීම් 8500 ක්‌ පමණ වූ අතර 2005 වර්ෂයේ දී එය 3500 දෙනකු දක්‌වා අඩු වූ බවය. සියදිවි හානිකර ගැනීම්වලට ප්‍රධාන කරුණු 03 ක්‌ බලපාන බව එහිදී පෙන්වා දුන් ඒ මහතා ඉන් ප්‍රධාන කාරණය වූයේ හැඟීම් හසුරුවා ගැනීමට නොහැකි වීම හා මානසික රෝගකරුවන් වීමත් යෑයිද පෙන්වා දුන්නේය. එය මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය නිසා සිදු වේ. මේ නිසා වන සියදිවි හානිකර ගැනීම් පිළිබඳව ලිවීමේදී මාධ්‍යවේදීන් කිසි විටෙකත් සියදිවි හානිකර ගැනීමට ගත් උපාය ගැන නොලිය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලංකාවේ දුරකථන ආශ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස්‌ වීමට උපදේශන ලබාගත හැකි ස්‌ථානයක්‌ අනුරාධපුර සෞඛ්‍ය සේවා අධිකාරි කාර්යාලයේ ස්‌ථාපනය කොට ඇති බවද අනුරුද්ධ මහතා මෙහිදී පෙන්වා දුන් අතර මෙම අවස්‌ථාවට සහභාගි වූ රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පර්වින් මහත්මිය, සෞඛ්‍යය දියුණු කිරීම වෙනුවෙන් ජනමාධ්‍යයේ මැදිහත්වීම පිළිබඳ හරබර දේශනයක්‌ ඉදිරිපත් කළාය.

අනෙකුත් ආබාධයන්ගෙන් මියයන පුද්ගලයන්ට වඩා දුම්වැටි භාවිතයෙන් විශාල සංඛ්‍යාවක්‌ මියයන බව පෙන්වා දුන් එම මහත්මිය ලෝකයේ එක දවසකට දුම්වැටියෙන් 15,000 ක්‌ පමණ මියයන බව පෙන්වා දුන් අතර ලංකාවේ දිනකට ඩෙංගු රෝගයෙන් එක්‌ අයෙකු ද, රිය අනතුරුවලින් 05 දෙනකුද, සියදිවි හානිකර ගැනීමෙන් 10 දෙනකුද, දුම්වැටි භාවිතයෙන් 55 දෙනකුද මියයන බවයි. මීට අමතරව මත්ද්‍රව්‍ය භාවිතය නිසා ලිංගික බෙලහීනතාවද ඇති වන බව ඇය විසින් පෙන්වා දෙනු ලැබීය. එමෙන්ම ලංකාවේ සිගරැට්‌වලින් රු. 42,000,000,000.00 ක ආදායමක්‌ ලැබෙන බවද ඇය සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට අනුරාධපුර මහ ලේකම් කාර්යාලයේ සමෘද්ධි කොමසාරිස්‌වරිය හා අතිරේක දිසාපතිවරයාද සහභාගි වූ අතර මාධ්‍යවේදීන් විශාල පිරිසක්‌ද සහභාගි වූහ.


http://www.divaina.com/2012/02/17/news11.html

No comments:

Post a Comment