Thursday, February 2, 2012

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික ගොවිපළවලින් ගිය වසරේ ලක්‍ෂ 750 ක ආදායමක්‌

සිවිල් ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ කියයි

සිරිමෙවන් කස්‌තුරිආරච්චි මහඔය සංචාරයකින් පසු


සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පවත්වාගෙන යන කෘෂිකාර්මික ගොවිපළවලින් පසුගිය 2011 වසරේ රුපියල් ලක්‍ෂ 750 ක ආදායමක්‌ උපයා ගත් බව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස්‌ මහතා පැවසීය.

සිවිල් ආරක්‍ෂක බළකා කලාප 17ක්‌ යටතේ පිහිටි ගොවිපළ 300 කට අධික ප්‍රමාණයක සිවිල් ආරක්‍ෂක භටයන් දහස්‌ ගණනක්‌ වගා කටයුතුවල නිරතව සිටින අතර, ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් වී, එළවළු, පළතුරු, බඩඉරිඟු, කජු, මුංඇට, කව්පි, කුරක්‌කන් ඇතුළු විවිධ භව භෝග වර්ග රැසක්‌ සාර්ථකව වගා කර ඇත.

එමගින් පසුගිය වසරේ උපයාගත් රුපියල් ලක්‍ෂ 750 යොදවා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ට්‍රැක්‌ටර්, ජල මෝටර්, ජල පොම්ප, අස්‌වනු නෙලන යන්ත්‍ර ඇතුළු කෘෂි උපකරණ මිලදී ගත් බවද රියර් අද්මිරාල් පීරිස්‌ මහතා පැවසීය.

තර්ජිත ගම් ආරක්‍ෂා කිරීම සහ තර්ජිත ගම්වල ජනතාව දකුණට සංක්‍රමණය වීම වැළැක්‌වීම සහ රට තුළ ඇතිවන විවිධ ආපදාවලදී සහන සේවා ලබාදීම වැනි කටයුතුවලට දායක වී සිටි 41,000 ක්‌ පමණ වන සිවිල් ආරක්‍ෂක බළකාය දැන් යුද්ධයෙන් අනතුරුව රටේ සංවර්ධන සංග්‍රාමය උදෙසා සිය ශ්‍රම දායකත්වය ලබාදෙමින් සිටින බවද හෙතෙම පැවසීය.

මහඔය සිවිල් ආරක්‍ෂක බළකා කලාපය යටතේ පවතින උප කලාප 14 ට අයත් කෘෂිකාර්මික ගොවිපළවල අස්‌වනු නෙළීම ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය බෝගමුයාය ගොවිපළේ පැවැති අවස්‌ථාවේදී රියර් අද්මිරාල් පීරිස්‌ මහතා මේ බව ප්‍රකාශ කළේය. බෝගමුයාය ගොවිපළේ අක්‌කර 300 ක ප්‍රමාණයක වගා කර තිබෙන බඩඉරිඟු අස්‌වනු නෙළීම ආරම්භ කිරීමෙන් අනතුරුව රියර් අද්මිරාල් පීරිස්‌ මහතා මංගලගම ගොවිපළේ අස්‌වනු නෙළීSමේ අවස්‌ථාවටද සහභාගි විය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ මුදල් පරිත්‍යාග මත මහඔය උණුවතුර බුබුල සහ මංගලගම කොහොඹයක්‌තලාව ගම්වල ඉදිකළ නිවාස 92 ක්‌ සිවිල් ආරක්‍ෂක භටයන් දෙදෙනකුට භාර දීම ද මෙම සංචාරයේදී සිදුවිය.

මහඔය කලාප අණදෙන නිලධාරී මේජර් කමල් ජයවීර, උප අණදෙන නිලධාරී ඩබ්. ඒ. සිරිවර්ධන, බක්‌කිඇල්ල දිස්‌ත්‍රික්‌ නිලධාරී ජී. මුණසිංහ, මේජර් මංගල මෙන්ඩිස්‌, මේජර් පූජාත් විඡේසිංහ, ලලිත් රාජපක්‍ෂ යන මහත්වරු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි කුමුදුනී පීරිස්‌ මහත්මිය ඇතුළු තනුජා ගුණවර්ධන, නිලන්ති වේහැල්ල, කුමාරි කරුණාපාල, කාන්ති පෙරේරා, කණිෂ්කා වෙදගේ චන්ද්‍රdනි දිසානායක යන සේවා වනිතා සාමාජිකාවෝ මෙම සංචාරයට එක්‌වූහ.


http://www.divaina.com/2012/02/02/news01.html

No comments:

Post a Comment