- පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
සිරිමන්ත රත්නසේකර, ජගත් කණහැරආරච්චි
තෙත් බිම්වල ඇති වටිනාකම කිසිවකු නිසිලෙස වටහාගෙන නොමැති බවත් ලෝකයේ මෙන්ම මෙරටද තෙත්බිම් විශාල ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී යමින් පවතින බවත් පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
සංවර්ධන ඉලක්‌ක වෙත කඩිමුඩියේ ළඟා වීමට පරිසර විනාශ කිරීම විශාල අනතුරකට අතවැනීමක් බවත් පරිසරය රැකගැනීමේ වටිනාකම පිළිබඳ සෑම සියලුදෙනා දැනුවත් කළ යුතු බවත් හෙතෙම පැවසීය.
පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (02 වැනිදා) එම අදහස් පළ කළේ ලෝක තෙත් බිම් දින ජාතික උත්සවය බත්තරමුල්ල වොර්ටස් එඡ් හිදී පැවැති අවස්‌ථාවේදී අදහස් දක්‌වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ ද සඳහන් කළේය(
ජනාවාස ආරම්භ වූ දින සිටම පරිසරය අපහට මෙතරම් උදව් උපකාර නොකරානම් ශිෂ්ට සමාජයක් බිහිවන්නේ නැහැ. පරිසරය මිනිසා වෙත ලබාදිය හැකි සියලු දේ ලබාදෙද්දී මිනිසා පරිසරයට ලබාදිය යුතු සැලකිල්ල නිසි ලෙස දක්‌වා නැහැ.
තෙත්බිම්වල ඇති වටිනාකම අපි නිසි ලෙස වටහාගෙන නැහැ. ලෝකයේ මෙන්ම මෙරට තෙත් බිම් රැසක් මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා විනාශ වී යමින් තිබෙනවා. තෙත් බිම් ආරක්‍ෂා කර නොගැනීම විශාල අනතුරකට අත වැනීමක්. මේ පිළිබඳ සියලුදෙනා දැනුවත් කළ යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට විශාල වගකීමක් තිබෙනවා.
පරණ පරම්පරාවට ඉගැන්වීමට කටයුතු කරනවාට වැඩියෙන් තරුණ පරම්පරාවට ඉගැන්වීමට කටයුතු කළ යුතුයි. "ඇට්‌ටර" වූ සමාජයක් බිහිකිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගත යුතුයි. ඇට්‌ටර වූ සමාජයක් හැසිරෙන අයුරු පෙරේදා (01 වැනිදා) අපට දැකගන්න ලැබුණා. ඒ හදිසියේ ගත් හෝ දුම්රිය වැඩවර්ජනය තුළින්. ඔවුන් දස දහස් ගණන් ජනතාව අපහසුතාවට පත් කළේ හිත් පිත් නැති ආකාරයෙන්.
මෙහිදී අදහස් දැක්‌වූ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා - ලෝකයේ සෑම රටක්‌ම උත්සාහ කරන්නේ වැඩි ආර්ථික වර්ජනයක් අත්පත් කර ගැනීමටයි. මෙහිදී ස්‌වභාවික සම්පත් ක්‍ෂය වෙනවා වගේම අධිපරිභෝජනයට නතු වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළදී පරිසරය රැකගන්නේ කෙසේද යන්න විශාල ගැටලුවක්.
සංවර්ධනය නිසා ගහ කොළ, සතා සීපාවා නැති ලොවක් බිහිවන්නේ නම් එම සංවර්ධනයෙන් ඇති ඵලක් නැහැ. අපගේ සෑම දූ දරුවකුටම තිරසාර සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ඇති කළ යුතුයි.
අප රටේ ගහකොළ සතා සීපාවන්ට ආදරය කරන දූ දරුවන්ගේ ප්‍රමාණය අඩුවී තිබෙනවා. අපගේ ඉතිහාසය එය නොවේ. අපගේ ආදිතමයන් ගහ කොළ සතා සීපාවන්ට පණමෙන් ආදරය කලා. එය රැක ගැනීමට කටයුතු කළා. 1815 කන්ද උඩරට ගිවිසුමෙන් පසු අපගේ සමාජ ආර්ථිකය වෙනත් දිශාවකට ගමන් කළා. මිනිසුන් පරිසරය විනාශ කර ආදායම් උපයන තැනට පත්වුණා. පරිසරයට වඩා හානි කරන්නේ දුප්පතුන් වන අතර පරිසර හානියෙන් වඩාත්ම අපහසුතාවට පත්වන්නේ ද දුප්පතුන්.
මෙහිදී අදහස් දැක්‌වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා(- තෙත්බිම්, ආරක්‍ෂා කිරීම යනු අපගේ අනාගතය ආරක්‍ෂා කිරීමක්. තෙත්බිම් ආරක්‍ෂා කිරීම වානිජ්‍යමය වටිනාකමක් ඇති දෙයක් බවට පරිවර්තනය කිරීමට අප කටයුතු කරනවා. ඔබ තෙත් බිමක් ආරක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා ඔබට ගෙවීමක් කරන්න අවශ්‍යයි. යන තැනට අප ගමන් කරනවා.
මෙහිදී ගොවිජන හා වනජීවී අමාත්‍යාංශ ලේකම්, වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් උදේනි වික්‍රමසිංහ මහතා අදහස් දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට පාසල් සිසු සිසුවියන්, පරිසර ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිසක් එක්‌වූහ.
http://www.divaina.com/2012/02/03/news16.html
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment