Friday, February 3, 2012

බැංකොක්‌ සිට හිsංසාකාරී ලෙස ගිරා සහ තාරා පැටවුන් රැගෙන ආ පුද්ගලයාට ලක්‍ෂයක්‌ දඩ

හොටවල් ටේප් පටිවලින් බැඳලා

අනුර බාලසූරිය, ප්‍රභාත් විතාන



තායි ගුවන් සේවයට අයත් (ඔඨ307) ගුවන් යානයකින් හිංසාකාරී ලෙස බැංකොක්‌ නුවර සිට මෙරටට ගිරා ජෝඩු දෙකක්‌ සහ තාරාවුන් ජෝඩු දෙකක්‌ රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු පරීක්‍ෂණවලට හසු නොවන පරිදි කඩදාසි සහ කාබන් කොළවලින් අසුරා ඉතා සූක්‍ෂම ලෙස සකස්‌ කළ ප්ලාස්‌ටික්‌ පෙට්‌ටිවල දමා මෙම සතුන් රැගෙනවිත් තිබේ.

භාණ්‌ඩ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට නොමැති (ග්‍රීන් චැනල්) දොරටුවෙන් මෙම පුද්ගලයා ගමන් කිරීමේදී ඔහු ගැන සැක සිතූ රේගු නිලධාරීන් මොහුගේ ගමන් මල්ල පරීක්‍ෂා කිරීමේදී මෙම ගිරා සහ තාරා පැටවුන් සොයා ගෙන තිබේ.

රේගු නිලධාරීන් මෙම සතුන් සොයා ගන්නා විට ගිරා පැටවුන්ගේ සහ තාරා පැටවුන්ගේ හොටවල්වල එම සතුන්ට කෑ ගැසීමට නොහැකි පරිදි ටේප් පටි අලවා තිබී ඇත.

මෙම ගිරා පැටවුන් සහ තාරා පැටවුන් වන සත්ව සහ වෘක්‍ෂලතා පනත සහ සත්ව නිරෝධායන පනතට පටහැනිව ශ්‍රී ලංකාවට රැගෙන ඒම නීති විරෝධී වේ. එමෙන්ම මෙසේ රේගු ආඥා පනතට අනුව ප්‍රකාශ නොකර සතුන් ගෙන ඒම වැරැද්දක්‌ බවත් රේගු නිලධාරියෙක්‌ පැවසීය.

නීති විරෝධී ලෙස ගිරා සහ තාරා පැටවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආ පුද්ගලයා මීට පෙර අවස්‌ථා ගණනාවක්‌ම බැංකොක්‌ නුවර වෙත ගොස්‌ ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාට රුපියල් ලක්‍ෂයක පමණ දඩයක්‌ රේගුව විසින් නියම කර ඇති අතර ශ්‍රී ලංකාවට රැගෙන ආ සතුන් නැවත බැංකොක්‌ නුවරට ප්‍රතිඅපනයනය කරන ලෙසද නියෝග කර ඇත.

ඒ අනුව අදාළ සතුන් ගුවන්තොටුපළ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව නිරෝදායන අංශය වෙත බාරදී තිබේ. මෙම සතුන් නැවත බැංකොක්‌ නුවර වෙත ගෙන යැමට තායි ගුවන් සේවය භාරගත් බවත් රේගු නිලධාරියෙක්‌ පැවසීය.

සහකාර රේගු අධිකාරි විමල් පියසුමන මහතා විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ රා- මෝහන් මහතා සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ජුඩ් නිලුක්‍ෂාන් යන මහත්වරුන් විසින් සිදු කර ඇත.

එස්‌. ඒ. එස්‌. ටී. සේනානායක, ජී. ජී. ප්‍රේමසිරි, නරේන්ද්‍ර ප්‍රනාන්දු යන රේගු අධිකාරිවරුන් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවූ අතර නියෝජ්‍ය රේගු අධිකාරිවරුන් වන නිශාන්ත ආරියපාල, ඊ. යූ. එස්‌. ප්‍රනාන්දු, උපුල් ඉන්ද්‍රජිත්, කපිල අල්විස්‌, ජයලාල් ප්‍රනාන්දු සහ සහකාර රේගු අධිකාරිනී චරිතා හෙට්‌ටිගොඩ මහත්මිය පරීක්‍ෂණ කටයුතුවල සහාය දැක්‌වූහ.


http://www.divaina.com/2012/02/03/news12.html

No comments:

Post a Comment