Monday, February 20, 2012

ලුණුගල ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රමවත් නෑ

ඌව පළාත් සමූහ මාපා බණ්ඩාර

ලුණුගල ප්‍රජා ජල ව්‍යාපෘතියේ සිදුවී තිබෙන බව කියන අක්‍රමිකතා රැසක් නිසා ජලය නොමැතිව ප්‍රදේශවාසීන් දැඩි අර්බුදයකට ලක්වී සිටින බව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද සිල්වා මහතා කියයි.


අපිරිසුදු අනාරක්ෂිත ජල උල්පත


බටවලින් ජලය කාන්දු වීම

ප්‍රමිතියට නොමැති කොන්ක්‍රීට් රැදවුම් ආවරණ

ලුණුගල රිලාඋළු කන්දේ ජල උල්පතකින් ජලය ලබා ගනිමින් පවුල් 500 කට පමණක් දැනට ජලය ලබාදී තිබේ.

2006 වසරේදී ආරම්භ කළ ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 200 ක් පමණ රජයේ මුදල් දැනට වැය වී තිබෙන අතර ව්‍යාපෘතියේ වැඩ නිමවී නැත.

ජල උල්පතේ සිට අගල් හතරක යකඩ බට මගින් කිලෝමීටර් දෙකහමාරක දුරක් ජලය ගෙනැවිත් ලීටර් 84000 ක් ජලය ගබඩා කළ හැකි ටැංකි දෙකක ජලය ගබඩා කිරීමට තිබුණත් එක් ටැංකියකින් ජලය කාන්දුවීම නිසා ජලය පිරවීමට අපහසු වී තිබේ.

ජල උල්පතේ සිට ටැංකියට ජලය රැගෙන එන යකඩ බට වලට අමතරව ප්ලාස්ටික් බටද යොදා අක්‍රමිකතා සිදු කර තිබේ.

ජල උල්පත අපිරිසුදු වී අනාරක්ෂිතව තිබේ. ජල නළ මැදින් ගල් වැලි ටැංකියට එන බවද ප්‍රදේශවාසීහු පවසති.

ජල උල්පතේ සිට කිලෝමීටර් දෙකහමාරක් ජලය රැගෙන එන යකඩ බට තැනින් තැන ගස්වල එල්ලා තිබේ. ලී දඩු උපයෝගී කරගෙන ආධාර සවි කර තිබේ. යකඩ බට නිසියාකාරව සම්බන්ධ නොකිරීම නිසා තැන් කිහිපයකින් ජලය නිතර කාන්දු වෙමින් පවතී.

ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන ජලය දිනපතාම නොලැබෙන බවත් ඇතැම් විට දින තුන හතරක් ජලය නොලැබෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

ප්‍රජා ජල ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ නිවාස 500 කට පමණක් දිනපතාම ජලය ලැබෙන බවත් සමිතියේ නිලධාරීන්ගේ වගා බිම් වලටද නිතර ජලය ලබා ගෙන තිබෙන බවට ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන් චෝදනා කරන අතර ප්‍රදේශයේ උග්‍ර ජල ප්‍රශ්නයට පවුල් 2000 ක් පමණ දිනපතාම මුහුණ දී සිටිති.

ලුණුගල ප්‍රජා ජල ව්‍යාපෘතියේ සභාපති ආර්. පී. ටී. ප්‍රේමචන්ද්‍ර මහතා ගෙන් ව්‍යාපෘතිය පිළිබඳව විමසූ විට මෙසේ පැවසීය. මාධ්‍යය කිසිම තොරතුරක් ලබා නොදෙන බවත්ඔහුට අවශ්‍ය විදියට ජල ව්‍යාපෘතිය පවත්වාගෙන යන බවත් පැවසීය.

ලුණුගල ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද සිල්වා මහතා

ලුණුගල ප්‍රදේශයේ ජනතාව දැඩි ජල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ප්‍රාදේශීය සභාව මගින් අතීතයේ සිට සෝලන්ස් කඳු ප්‍රදේශයෙන් ජලය ලීටර් 50000 ක ටැංකියක ගබඩා කර පවුල් 900 කට ලබා දෙනවා. දිනක් හැර දිනක් දෙන්න තමයි ජලය තියෙන්නේ. නියං කාලයට ජලය නෑ.

නමුත් ප්‍රදේශයේම ජනතාවට ප්‍රජා ජල ව්‍යාපෘතියෙන් ජලය පැය 24 පුරාම දෙන්න පුළුවන්. ජල ලීටර් 84000 ක් ගබඩා කරන්න පුළුවන් විශාල ටැංකි දෙකක් තියෙනවා.

සමිතියේ නිලධාරීන්ට අවශ්‍ය විදියට මුදල් එකතු කරගෙන හිතුමතේට ජලය බෙදනවා. ඇතැම් නිවෙස්වලට අගලු 1, 2, 2 1 / 2, බට වලිනුත් ජලය ලබාදී තිබෙනවා. ඇතැම් නිලධාරීන් වගා බිම්වලට නිතරම ජලය ලබා ගන්නවා. ජලයට ක්ලෝරීන් දාන්නේ නෑ. ජල උල්පත තියෙන ප්‍රදේශය ඉතාම අපිරිසුදුයි. ජල බට නිතර පුපුරා ජලය අපතේ යනවා.

ජනතාවගේ බදු මුදල්වලින් කෝටි දෙකක් වැය කරලා ලුණුගල ජනතාවට ලබා දුන්න ජල යෝජනා ක්‍රමය නිලධාරීන් කිහිප දෙනෙකුගේබූදලයක් බවට පත් කරගෙන.

අක්‍රමිකතා රැසක් සිදුවී තිබෙන ප්‍රජා ජල යෝජනා ක්‍රමය ප්‍රාදේශීය සභාවට පවරා දුන්නොත් පානීය ජලය නොමැතිව දුක් විදින ලුණුගල ජනතාවට පැය 24 පුරාම ජලය ලබා දෙන්න මට පුළුවන්.


http://www.dinamina.lk/2012/02/20/_art.asp?fn=r1202201

No comments:

Post a Comment