Friday, February 3, 2012

කපා දමා නිල්වන් වූ පරිසරය - සිටු වූ ෆයිනස්‌ කෑවා රක්‍ෂිතය

වැටෙන කොළ දිරන්නේ නෑ, ඉබේටම ගිනිගන්නවා
ජල උල්පත් ඇළ දොළ සිඳිලා ගිහින්


70 දශකය ආරම්භ වන විටත් දන්දෙණිය රක්‍ෂිතය ගස්‌වැල්වලින් සපිරි මනරම් පරිසරයකින්ද ඉතා සෞම්‍ය දේශගුණයකින්ද වසර පුරාම මනසේ ජලය ගලා බසින ඇළ දොළවල්වලින්ද පොහොසත් වූ ස්‌වාභාවික වන පෙතක්‌ විය.

රිලවුන්, වඳුරන්, දඬුලේනුන්, මීමින්නන්, ඌරන්, ඉත්තෑවන් ආදී වන සතුන්ගේ රජ දහනක්‌ මෙන්ම විහඟුන්ගේ මිහිරි ගී රාවය නිරන්තරයෙන්ම පැතිරී ගිය ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතියක්‌ ද විය.

1970 දශකයේ මුල් භාගය එවක රජය ගත් තීරණයකට අනුව ස්‌වාභාවික වන රක්‍ෂිතවලින් කොටසක්‌ ඉවත් කොට විදේශයකින් ආනයනය කළ 'ෆයිනස්‌' නමැති ශාකය වගා කිරීමට පියවර ගන්නා ලදී.

මේ තීරණය ගත්තේ කිසියම් විදේශීය බලපෑමක්‌ හේතුවෙන්ද එසේ නොමැතිනම් කිනම් හෝ ප්‍රයෝජනයක්‌ රටට අත් වේ යෑයි යන්න කල්පනා කළ නිසාවත් දැයි අපි නොදනිමු. එහෙත් එම තීරණය ක්‍රියාත්මක කළ බව නම් පැහැදිලිය. ඒ අනුව දන්දෙණිය රක්‍ෂිතයේ කොටසකද ෆයිනස්‌ වගාව ආරම්භ කෙරිණි.

ඒ අනුව ස්‌වාභාවික වනය තුළ මනාව වැවී තිබූ හොර, මැහෝගනී, කැටකැරැල්ල, මිල්ල, කැකුණ ආදී දැවමය වටිනාකමක්‌ සහිත ශාක ඉවත් කෙරිණි.

එපමණක්‌ නොව ඉතා වටිනා ඖෂධීය ගුණයෙන් යුතු ශාක පද්ධතිය තුළ කොතල, හිඹුටු, කුඹුරුවැල්, බාන්වැල්ගැට, පුස්‌වැල්, ලොත්සුඹුල, බඹරවැල්, කිරිඳිවැල් ආදී දිව ඔසු වූ අතර ඒ සියල්ල විනාශ කර දමන ලදී.

බටහිර වෛද්‍ය ක්‍රමය පරයා යන අපේ දේශීය වෙදකමට ද මෙමඟින් මරු පහරක්‌ වැදිණි. ෆයිනස්‌ වගාව සිදුකර දශක 3 කට පසුව උදාවී ඇති තත්ත්වය පිළිබඳව අදහස්‌ දක්‌වන ගම්වාසීන් කිහිප දෙනකු :

දන්දෙණිය ග්‍රාම සංවර්ධන සුබසාධක සංගමයේ ලේකම් සමන් සුරවීර මහතා - "මෙහේ සිසිල් දේශගුණයක්‌ මෙන්ම ජෛව විවිධත්වය ද ඉතා හොඳින් තිබුණා. ඒකට උදාහරණයක්‌ තමයි වනයේ හිටිය ගොඩ කූඩැල්ලෝ. නමුත් අද එකකුවත් නෑ. අද වියළි කලාපයේ දේශගුණයට සමාන තත්ත්වයක්‌ තමයි මෙහේ තිබෙන්නේ.

"ඒ වගේම වැටකෙයිය, දුනුකෙයියා, වේවැල් වැනි ශාක බහුලව තිබුණා. මිනිස්‌සු ජීවනෝපාය වශයෙන් මේවායින් කූඩ, වට්‌ටි, වේවැල් භාණ්‌ඩ නිෂ්පාදනය කළා. එහෙත් අද ඔවුන්ට ජීවත්වන්න ක්‍රමයක්‌ නෑ."

ප්‍රාදේශීය සභා මන්ත්‍රී කිත්සිරි අමරසිංහ මහතා - "මා මේ විනාශකාරී ෆයිනස්‌ වගාව ඉවත් කොට අපට ගැලපෙන වගාවක්‌ ඇති කරන ලෙස යෝජනාවක්‌ ගෙනවිත් ප්‍රාදේශීය සභාවේ සම්මත කර ගත්තා. ඒ වගේම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මැතිතුමාගේත්, පළාත් සභා මන්ත්‍රී කාංචන විඡේසේකර මැතිතුමාගේත් අවධානයට යොමු කළා. අපේ ගම්වල මිනිස්‌සු මේ වගාව නිසා විඳින දුක මම දන්නවා. ඔවුන්ගේ හඬ ඉදිරියට ගෙනියන්න මා කටයුතු කරනවා."

"මේ ප්‍රදේශයේ පිළිකා රෝගයෙන් මියයන සංඛ්‍යාව බෙහෙවින් වැඩිවී තිබෙනවා. මා ඉල්ලා සිටිනවා ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ කළ යුතුය කියලා. එය ෆයිනස්‌ වගාවේ අහිතකර ප්‍රතිඵලයක්‌ වන්නට පුළුවන්."

"මම මේ ගමේම ජීවත්වන නිසා මේ විනාශකාරී වගාවෙන් මිනිසුන් විඳින දුක දන්නවා. කෙටියෙන් කියනවා නම් දර කෑල්ලක්‌වත් හොයාගන්න බැරි තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වගාව ඉවත් කරල සුදුසු වගාවක්‌ ඇති කරන ලෙස මේ අහිංසක වැසියන් වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා."

මහින්ද කොඩිතුවක්‌කු මහතා - "මෙම ෆයිනස්‌ වගාව තුළ කිsසිම සතෙකුට ඉන්නට බෑ. මිනිස්‌සු ගියත් ශරීරයට වියළි ස්‌වභාවයක්‌ දැනෙනවා. උගුර කට වේලෙනවා. වැටෙන කොළ දිරන්නේ නෑ. ඒ නිසා ඉබේටම ගිනි ගන්නවා. ඉතින් ජල උල්පත්, සතුන් ආදී සියල්ල විනාශ වෙනවා."

දන්දෙණිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය සුරංගනී සඳමාලි - "මේ ෆයිනස්‌ ගස්‌ එක පාරටම කඩාගෙන වැටෙනවා. ඒක අපේ ජීවිතවලට තර්ජනයක්‌. ඒ වගේම ලයිට්‌ කම්බි කැඩිලා ලයිට්‌ නැතිවෙනවා. ප්‍රදේශයේ දිය උල්පත් සිඳිලා. ළිංවල වතුර අපිට ප්‍රයෝජනයටත් මදි."

ඩී. ඒ. ධර්මදාස මහතා - දෙකන්නයේම වගා කළ කුඹුරු අද පාළුවට ගිහිල්ලා. ඇළ දොළ හිඳිලා. අක්‌කර 90 ක්‌ විතර පුරන් වෙලා.

ප්‍රේමදාස අමරසිංහ මහතා - "මිනිස්‌සු ආහාරයට ගත්ත අල වර්ග සේරම වඳවෙලා. ගෝනල, උඩල, හාතවාරිය අල, කිරි අල, ජාවාල වගේම දං, හිඹුටු, කිරිඳි ගෙඩි වගේ පලතුරු වර්ග අද කාලේ පොඩි දරුවන්ට ලැබෙන්නේ නෑ." සංවර්ධනයේ නාමයෙන් කරන මෙම කටයුතුවලදී තාවකාලික ලාභ ප්‍රයෝජන ගැන පමණක්‌ නොසිතා අනාගතයේදී ඇති විය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳවත් දෙවරක්‌ සිතා බලා සංවර්ධන සැලසුම් කළ යුතුය.

http://www.divaina.com/2012/02/03/provin03.html

No comments:

Post a Comment