Wednesday, February 1, 2012

රජයට පවරා ගැනීමෙන් පසු සෙවනගල හා පැල්වත්ත පාඩු යෑයි කියන මහත්වරුන්ට ප්‍රසිද්ධ විවාදයකදී පිළිතුරු දෙන්න මා සූදානම්

- ඇමැති ලක්‌ෂ්මන් සෙනෙවිරත්න

වසන්ත ලියනගේ

සෙවනගල හා පැල්වත්ත කර්මාන්ත ශාලා රජයට පවරා ගත් පසු පාඩු යෑයි තර්ක කරන මහත්වරුන්ගේ අභියෝගය භාරගෙන ඊට ප්‍රසිද්ධ විවාදයකදී පිළිතුරු ලබා දීමට තමන් සූදානම් යෑයි ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති ලක්‌ෂ්මන් සෙනෙවිරත්න මහතා කීය.

පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලා රජයට පවරාගෙන ගතවන්නේ ඉතාමත් කෙටි කාලයක්‌ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉදිරි සති කීපයේදී මෙම කර්මාන්ත ශාලා මුහුණදී තිබෙන සැබෑ තත්ත්වය රට හෙළි කිරීමට පියවර ගන්නා බවද කීය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ සෙවනගල හා පැල්වත්ත කර්මාන්ත ශාලා රජයට පවරා ගැනීමෙන් අනතුරුව සිදුවී තිබෙන ඵලදායීතාවය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

පැල්වත්තේ හෙක්‌ටයාර් 9,000 ක උක්‌ වගා කළ හැකිව තිබුණද එහි උක්‌වගා කර ඇත්තේ හෙක්‌ටයාර් 3,000 කටත් අඩු ප්‍රමාණයක බවද සෙවනගල තත්ත්වයත් එසේම පවතින බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

පසුගිය කාලයේදී මෙම කර්මාන්ත ශාලා විසින් ප්‍රමුඛත්වය ලබාදී තිබුණේ මද්‍යසාර නිෂ්පාදනයට බවත් එය ශුද්ධ ආදායම් ලැබීමක්‌ වුවත් රටේ අවශ්‍යතාවය වනුයේ මෙම කර්මාන්ත ශාලා හරහා උපරිම සීනි නිෂ්පාදනය කිරීම බවද ඇමැතිවරයා කීය.

කප් රුකක්‌ ලෙස හඳුන්වා දිය හැකි උක්‌ ගසෙන් සීනි නිෂ්පාදනයට අමතරව ඉතිරිවන උක්‌ රොඩ්ඩෙන් විදුලිබලය නිෂ්පාදනය කළ හැකි බව පෙන්වා දෙන ඇමැතිවරයා ඒ සඳහා සෙවනගල සහ පැල්වත්තේ ඇති විදුලිබලාගාරවලින් පිළිවෙළින් මෙගා වොට්‌ 2.5 ක හා මෙගා වොට්‌ 3.5 ක විදුලිය නිෂ්පාදනය කළ හැකි බව පවසා සිටී. එහෙත් පසුගිය කාලයේ ඒ සඳහා කිසිම පියවරක්‌ ගෙන නැතැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

සීනි අපනයනය කිරීම සඳහා වසරකට බිලියන 40 ක වියදමක්‌ රජයට දැරීමට සිදුවී තිබියදී පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලාවල හිටපු කළමනාකරුවන් ජාතියේ අවශ්‍යතාවය නිසි ලෙස හඳුනා නොගෙන මුදල් ඉපයීම පමණක්‌ ප්‍රමුඛ කාර්යය කොට ක්‍රියා කිරීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්‌ බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

දැනට අප නිෂ්පාදනය කරනු ලබන්නේ අපේ රටේ අවශ්‍යතාවයෙන් සියයට පහක පමණ සීනි ප්‍රමාණයක්‌ බවද පෙන්වාදෙන ඇමැතිවරයා අවුරුදු 15 ක දීර්ඝකාලීන සැලැස්‌මක්‌ යටතේ ක්‍රියාත්මක වුවහොත් එය 40% දක්‌වා වැඩිකර ගත හැකි බවද කියා සිටී.

මේ වන විට ලෝක වෙළෙඳ පොළේ සීනිවලට ඇති ඉල්ලුම ඉහළ ගොස්‌ ඇති අතර සීනි නිෂ්පාදනය කරන ප්‍රධාන රටක්‌ වන බ්‍රසීලය අතිරික්‌ත සීනි නිෂ්පාදනය අන් රටවලට අපනයනය කිරීම නවතා දමා එමඟින් එතනෝල් නිෂ්පාදනය කර වාහන ධාවනයට යොදාගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඛනිජ තෙල් වලට වඩා ලාභදායි එතනෝල් නිෂ්පාදනය හරහා බ්‍රසීලයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ ඉතිරි කර ගැනීමට හැකි බව පෙන්වා දෙන ඇමැතිවරයා ඒ ගැන අපි රටක්‌ වශයෙන් වැඩි අවධානයක්‌ යොමු කළ යුතු බවද පැවසීය.

පසුගිය කාලයේදී ගොවීන්ගේ උක්‌ දඬු, පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය සඳහා ගෙවීම් නොකරමින් පැල්වත්ත හා සෙවනගල කර්මාන්ත ශාලාවල කළමනාකාරීත්වය කටයුතු කර ඇති බවද එලෙස මෙම කර්මාන්ත ශාලා බිඳ වැටීමට සැලැස්‌වීම ජාතික අපරාධයක්‌ යෑයිද ඇමැතිවරයා කීය.

මෙම කර්මාන්ත ශාලාවල ඇතැම් යන්ත්‍ර සූත්‍රවල කොටස්‌ ගලවා ඇතැයිද ඒවා විදෙස්‌ රටවලින් ගෙන්වා නැවත පණ ගැන්වීමට මාස තුනක පමණ කාලයක්‌ ගතවී යෑයිද පෙන්වා දෙන ඇමැතිවරයා කර්මාන්ත ශාලාවලට අයිති වාහන අයථා අන්දමින් රැගෙන යැමක්‌ සිදුවී තිබෙන බවද පෙන්වා දෙයි.

මෙම කර්මාන්ත ශාලා යළි ගොඩනැඟීමට රජය ගන්නා උත්සාහය මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ව්‍යර්ථ කළ නොහැකි බව පෙන්වා දෙන ඇමැතිවරයා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිසි වේලාවට මෙම කර්මාන්ත ශාලා රජයට පවරා ගැනීමට ගත් තීරණය සියයට සීයක්‌ම නිවැරදි බවද වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/02/01/news15.html

No comments:

Post a Comment