හෙන්නානිගල වැදි තරුණයාගේ මරණය අපට කියන කතාව
පසුගිය 14 වැනිදා රාත්‍රියේදී මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අයත් හෙන්නානිගල (හෙනානිගල) වනජීවී සංරක්‍ෂණ අඩවිය තුළදී වැදි තරුණයකු වෙඩි වැදී මියගියේය. වනජීවී නිලධාරීන් හා දඩයක්‌කරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මෙසේ හෙනානිගල ගම්වැසියකු වූ 29 හැවිරිදි උඩමලුවේ සුනිල් ජයසිරි නමැත්තා මියගිය බව වාර්තා විය. එසේ නම් මෙසේ මිය ගිය ජයසිරි නියෝජනය කරනු ලබන්නේ දඩයක්‌කරුවන්ගේ පාර්ශ්වයයි. වනජීවී නිලධාරීන් කියන පරිදි මෙසේ වෙඩි හුවමාරුවක් වීමට හේතුව උද්‍යානය තුළ නීති විරෝධීව ගැවසුණු දඩයක්‌කරුවන් පිරිසක් යටත් කර ගැනීමට යැමේදී දඩයක්‌කරුවන් විසින් තමන්ට වෙඩි තැබූ අවස්‌ථාවේදී තමන්ද පෙරළා වෙඩි තැබීමයි. මාර්තු මස 24 වැනිදා රාත්‍රි 10 ට පමණ හෙනානිගල වනජීවී අඩවි ආරක්‍ෂක කාර්යාලයට නුදුරු වනාන්තරය තුළින් වෙඩි හඬක් ඇසුණු බවත් වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් වෙඩි හඬ ඇසුණු ප්‍රදේශයේ රැකවල්ලා සිටීමේදී මාර්ගය දිගේ ආ විදුලි පන්දම් එළි දෙකක් ගැන සුපරික්‍ෂාවෙන් හිඳ, වැටලීම් කණ්‌ඩායමට සමීප වූ අටදෙනකුගෙන් යුත් පිරිසකට වහාම යටත් වන ලෙස අණදුන් බවත් වනජීවී නිලධාරියකු සඳහන් කළේය.
එහෙත් යටත්වීම වෙනුවට පැමිණි කණ්‌ඩායමෙන් තමන් වෙතට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවද, ආත්මාරක්‍ෂාව සඳහා තම කණ්‌ඩායම ද පෙරළා වෙඩි තබා තිබූ බවත් උද්‍යාන නිලධාරියා සඳහන් කළේය. දඩයක්‌කරුවන් අත ගිනිඅවි 4 ක් තිබූ බවට හඳුනාගත් බවද ඔහු කීය.
සිද්ධිය හා ඊට පසුබිම් වූ කරුණු කාරණා කෙසේ වෙතත්, අවසානයේදී හෙනානිගල වැදි තරුණයා මෙසේ ජීවිතයෙන් සමුගත්තේය. සිද්ධිය පිළිබඳ පොලිස් සහ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ ද පැවැති අතර වෙඩි වැදීමකින් සිදුවූ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි අධිකරණ වෛද්‍යවරයා නිගමනය කර ඇත.
මේ වූකලී මෙරට පරිසර සංරක්‍ෂණය පිළිබඳ තවත් එක් පැතිකඩක් කියවන්නකි. අලි - මිනිස් ගැටුම මෙන්ම විශේෂයෙන්ම මාදුරුඔය කලාපයේ වැදි ජනයාගේ සහ වනජීවී සංරක්‍ෂණයේ චිරාත් කාලයක ගැටුමේ එක් ඵලයක් මේ බව අපට පහදා දෙන්නකි.
මාදුරුඔය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්වූයේ 1983 දීය. ඒ මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මාදුරුඔය, රත්කිඳ, උල්හිටිය වැනි ජලාශ ඉදිවීමත් සමග වනගහනය හා වනසතුන් වෙනුවෙන් රක්‍ෂිත වනාන්තරයක් පවත්වාගෙන යැම සඳහාය. එහෙත් එහිදී තවත් සුවිශේෂී දෙයක්‌ද සිදුවිය. එනම්, පාරම්පරික වැදි ගම්මාන වන දඹාන සහ හෙනානිගල ගම්මානද ඉවත් කර වනෝද්‍යානයෙන් පිටත පිහිටුවීමට. එහෙත්, එකල දඹාන වැදි නායකයා වූ තිසාහාමිගේ දැඩි විරෝධතාව හේතුවෙන් දඹාන ගම්මානය ප්‍රමුඛ වැදි ජනාවාස කලාපය (කොටබකිනිය, ගුරුකුඹුර යනාදී) මාදුරුඔය වනෝද්‍යානයට සීමාකර ඉතිරි කරන්නට එවක බලධාරීන්ට සිදුවිය. එහෙත් අද අප කතාකරන හෙනානිගල වැදි ගම්මානයේ නායකයා ප්‍රමුඛ වැදි රැහේ තම ගම්මානය ඉවත්කර ගැනීමට කටයුතු කළහ. ඒ අනුව මහවැලි සී කලාපයේ තැනෙක ස්‌ථානගත වූ හෙනානිගල වැසියන්ට මහවැලියෙන් ඉඩම් ලැබිණි. එපමණක් නොව අප දන්නා හැටියට කොත්මලේ, තෙල්දෙණිය ඇතුළු විවිධ ප්‍රදේශවල මහවැලි අවතැන් වූවන්ටද මෙහි ඉඩම් ලැබිණි. 1983 දී මෙසේ ස්‌ථාපිත කළ මහවැලි ගම්මාන වැසියන්ගේ ආර්ථික දියුණුව මෙන්ම ඉඩකඩම් ප්‍රශ්නයද බොහෝ දුක්‌ඛදායක බව අපට පිළිගන්නට සිදුවන්නේ එදා ජනගහනයට සාපේක්‍ෂව ලබාදුන් ගොඩමඩ ඉඩකඩම් පරම්පරා දෙකතුනක් ගෙවා දමා ඇති ඔවුන්ට තවදුරටත් නොසෑහෙන බව පිළිගත යුතුව ඇති නිසාය. ඒ හෙයින් ආර්ථික දරිද්‍රතාව මෙම ප්‍රදේශවල අතිශය බහුල තත්ත්වයක් බවද අපට පිළිගන්නට සිදුවේ.
එහෙත් එවන් ආර්ථික දරිද්‍රතාවන් රටේ නීතිය උල්ලංඝනය කිරීමකට සාධාරණය කළ හැකි නොවේ. හෙනානිගල සිදුවූ මරණයද අපට විග්‍රහ කරන්නට සිදුවන්නේ එවන් පසුබිමක් තුළ සිටය. දඹාන, හෙනානිගල, රතුගල, නිල්ගල, පොල්ලේබැද්ද වැනි වැදි ජනාවාසවල ජනයා සාම්ප්‍රදායිකව දඩයමේ යැමෙන් හා වනජ ද්‍රව්‍ය එකතු කර ගැනීමෙන් දිවි ගෙවූවන් පිරිසක් බව අප පිළිගනිමු. එහෙත් උත්තරීතර වනජීවී (වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත) නීතිය අනුව මෙරට වනාන්තර හා වන සතුන් මැරීම තහනමකට ලක්‌කර සංරක්‍ෂණයට භාජන කර ඇත්තේ කාලයේ තාලය මෙය බව සඵත කරමිනි. එවන් විටෙක අතීතයේදී හා සාම්ප්‍රදායිකව දඩයමෙන් දිවි ගෙවූ බවට වන කුමන හෝ අයිතිවාසිකමක් ඉදිරිපත් කළ ද නැවතත් දඩයම නීතිගත කළ හැකි තරමට රටේ වනජීවී සම්පතක් නොමැති බව කවුරු කවුරුන් විසින් ද තේරුම්ගත යුතුය. එනිසා වැද්දාටද යළිත් දඩයම යා නොදේ.
එහෙත්, පාරම්පරික භාවිතය සලකා සහ පෙර කිව් පරිදි මෙම වැදි ගම්මානවල ආර්ථික තත්ත්වය නංවාලීම පිණිස වනජ ද්‍රව්‍ය ලබා ගැනීමටත්, ඔවුන්ගේ හුදු චාරිත්‍ර සඳහා ගරු කිරීමක් ලෙස සලකා පූජනීයත්වයෙන් සැලකූ ස්‌ථානවෙත යැම සඳහාත් මාදුරුඔය ආශ්‍රිත (දඹාන, හෙන්නානිගල) වැදි ජනයව විශේෂ අවසරයක් ලබාදීමට පසුගිය කාලයේදී වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියා කළේය. ඒ අනුව විශේෂ හැඳුනුම්පතක් නිකුත් කළ අතර අප දන්නා පරිදි එවන් හැඳුනුම්පත් 30 කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කෙරිණි. මේ අනුව කලක පටන් තිබූ බාධකයක් මඟහරිමින් වැදි ජනයාට මෙසේ විශේෂ අවසර පතක් මගින් හෝ මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළුවීමට අවස්‌ථාව උදාවිය.
එහෙත්, වැදි නායකයින් නිරතුරුව මැසිවිලි නඟන්නේ මෙම බලපත්‍රය හුදු හිස් ලියෑවිල්ලක් පමණක් බව හා වනජීවී නිලධාරීන් තමන්ට උද්‍යානය තුළ ගැවසීමට නිසි අවසරයක් මේ මගින් ලබා නොදෙන බවයි. එහෙත්, ශ්‍රී ලංකාවේ වැඩිම වනජීවී අපරාධ සිදුවන වනෝද්‍යානයක් ලෙස මාදුරුඔය පිළිබඳව වැඩි සුපරික්‍ෂාවකින් කටයුතු කිරීමත්, වනෝද්‍යානයේ ආරක්‍ෂාව තමන් පළමු කොට සලකනු ලබන බවත්ය. නිධන් හෑරීම, සතුන් දඩයම, හොර හරක් ජාවාරම, දැව හෙළීම ඇතුළු ජාවාරම්වලට නම් දරා ඇති මෙම උද්‍යානය තුළ මීට ඉහතදීද අවස්‌ථා කිහිපයකදී දඩයක්‌කරුවන් හා වනජීවී නිලධාරීන් අතර ගැටුම් ඇතිවිය. එක් අවස්‌ථාවකදීද මෙසේ ජීවිත හානි සිදුවිය.
වනජීවී නිලධාරීන් පවසන පරිදි මාදුරුඔය වනෝද්‍යානය රැක ගැනීම සඳහා විශාල සටනක් කරන්නට අද සිදුව තිබේ. නිරන්තරයෙන් උද්‍යානයට රහසේ ඇතුළුවන දඩයක්‌කරුවන් අහිංසක වන සතුන් දඩයම් කරන බැවින් සංචාරකයින් නොවන බාහිරයෙන් ඇතුළුවන්නන් උද්‍යානයට දැඩි තර්ජනයක් බවද ඔවුහු කියති.
වැදි ජනතාව සඳහා මාදුරුඔයේ සහ උල්හිටිය ජලාශයේ මාළු බෑමට අවසර ලබාදී ඇතත්, ඒ අවසරයෙන් පැමිණෙන පිරිස් දඩයම්වල නිරතවන බවට ඕනෑතරම් පැමිණිලි ලැබේ.
එවන් විටෙක උද්‍යානයේ ආරක්‍ෂාව ගැන සලකා නොසිටීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්‌ද? මහ දවල්ටත් උද්‍යානයේ දඩයම් ගැන වාර්තාවන විට රාත්‍රී කාලයේදී සිදුවන දඩයම් ගැන කුමන කතාද? සීමිත නිලධාරීන් පිරිසක් සේවය කරන මෙවන් උද්‍යානවල තත්ත්වය දඩයක්‌කරුවන්ට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා සේ ප්‍රීතිජනක කාරණාය. හෙනානිගල සිදුවීම්ද එවන් තත්ත්වයක් සේ අපි දකිමු. ප්‍රදේශයේ ධනවතුන්, බලවතුන් දේශපාලන හෙංචයියන් අහිංසක වැදි තරුණයින් යොදා ගනිමින් උද්‍යානය තුළ නීති විරෝධී කටයුතු කරන බවට ඕනෑ තරම් තොරතුරු ලැබේ. ඒවා අතර නිධන් හෑරීමත්, දඩමස් ජාවාරමත් ප්‍රධාන වේ. ඒ නැතිව මෙවන් අහිංසක වැදි තරුණයින් ගිනි අවි දරා මෙවන් ව්‍යාපාරයන්හි ස්‌වෝත්සාහයෙන්ම යෙදී සිටින බව පැවසීම සත්‍යයක් නොවේ. මේ අහිංසකයින්ගෙන් අනියත ප්‍රයෝජන ගනිමින් වැජඹෙන්නේ මෙවන් ජාවාරම්කරුවන්ය. හෙනානිගලදී සිදුවූ උඩමලුවේ සුනිල් ජයසිරිගේ බිලිදීමත් එවැන්නක්‌ද? ඒ නැතිව වැදිනායකයින් කියන පරිදි දීර්ඝ කාලයක් තිස්‌සේ වැදි රැහේ සහ වනජීවී නිලධාරීන් අතර පවතිනවා යෑයි කියන ගැටුම මීට වගකිවයුතු යෑයි අපි විශ්වාස නොකරමු. මන්ද එම නිලධාරීන් කියන පරිදි මේ අහිංසක ජනතාවත් ඔවුනුත් අතර එවන් ගැටුමක් හෝ ගැටලුවක් නැත. වනජීවීයට ඇත්තේ වන සත්ව ජාවාරම්කරුවන් පිළිබඳ ගැටලුවකි. එහි ඉත්තන් වී නීති විරෝධී කටයුතුවල නිරත නොවන්නැයි නිලධාරීහු වැදි ජනයාගෙන් ඉල්ලීමක් කරති. "අපට වැදගත් වන්නේ උද්‍යානය රැක දීමයි. අපගේ දරු පවුල් දමා අපි සැතපුම් සිය ගණන් ගෙවා මදුරුවන් තළමින් අලින්ගෙන් බැටකකා මේ උත්සාහ කරන්නේ රටේ වනාන්තර හා ඉතිරි වන සතුන් ටික රැකගන්නයි. අපට වෙනත් න්‍යාපත්‍ර නැහැ" යෑයි මේ පිළිබඳ අදහස් දැක්‌වූ උද්‍යාන නිලධාරියෙක් සඳහන් කළේය. එහෙත් වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් මේ පිළිබඳ අදහස් දක්‌වමින් කියා ඇත්තේ තමන්ගේ අනාගතය උදෙසා වනජීවී නිලධාරීන් සඳහා සටනක් ඇරැඹීමට සිදුව ඇති බවයි. හෙනානිගල වැදි නායක තලාවරිගේ ගුණබණ්‌ඩියා කියන්නේ පරිදි තම පාරම්පරික අයිතිවාසිකම් මාදුරුඔය වනෝද්‍යානයෙන් ලැබිය යුතු බවයි. එහෙත් අපට කිව යුත්තේ වැදි ජනයාගේ ජීවත්වීමේ අයිතිය අප පිළිගන්නා නමුත් දැන් ඔබ සටන් කළ යුත්තේ දැහැමිව දිවි ගෙවිය හැකි කුඹුරු, වතුපිටි, වැව් අමුණු දිනා ගැනීමේ උත්සාහයකට බවයි. ඒ නැතිව ඉතිරි වනාන්තර ටික හෝ ඉතිරි වනසතුන් හෝ නුඹලාට ජීවත්වීම පිණිස ලබාදිය නොහැකි බවයි.
ජගත් කණහැරආරච්චි
අතිරේක තොරතුරු සහ ඡායාරූප දිඹුලාගල ප්‍රසන්න සිල්වා
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
Sunday, March 18, 2012
ඉතිරි වනාන්තර හා වන සතුන් කා වෙනුවෙන්ද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment