Tuesday, September 27, 2011

උතුරු මැද ක්‍රියාත්මක ජල යෝජනා ක්‍රම වලින් 75% ට විෂකාරක මිශ්‍ර වෙලා

උ/මැ පළාත් සෞඛ්‍ය සේවා කාර්යාංශය අනාවරණය කරයි

සිරිපාල කඳුමුල්ල

රජරට අඩවිය තුළ බෝ නොවන රෝග වලින් 60% කට පමණ බලපාන්නේ අපිරිසිදු පානීය ජලය බව වියළි කලාපය ආශ්‍රිතව කරන ලද වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළි වී තිබේ. උතුරු මාතලේ සහ උතුරුමැද පළාත්වල ක්‍රියාත්මක පානීය ජල යෝජනා ක්‍රම වලින් 75% කම ජලයට විෂකාරක මිශ්‍රවී තිබෙන බවද මෙම පරීක්‍ෂණයේදී සොයාගෙන ඇතැයි උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා කාර්යාංශය අනාවරණය කරයි.

ග්‍රාමීය සහ නාගරික පානීය ජල යෝජනා ව්‍යාපෘතිවල විධිමත් පිරිපහදුවක්‌ සිදුනොවීම මෙම ගැටලුවට බලපා ඇතැයිද වාර්තාවෙයි. ජල පිරිපහදු යාන්ත්‍රණය සඳහා විශාල මුදලක්‌ වැයවීම. ඒවා භාවිත නොකිරීමට හේතුවී ඇත. පානීය ජල මූලාශ්‍රවලට අපද්‍රව්‍ය මිශ්‍රවීමේ ප්‍රවණතාව බොහෝ ව්‍යාපෘති පරීක්‍ෂාවේදී පෙනීගොස්‌ තිබේ. ප්‍රධාන ජලාශ සහ ජලධාරා ආශ්‍රිතව ඉදිකර තිබෙන පානීය ජල ව්‍යාපෘති වල කෙරෙන්නේ ක්‌ලෝනීය කරණය පමණක්‌ බව මෙම පරීක්‍ෂාවේදී හඳුනාගත් බව විශේෂඥ වෛද්‍ය ඇම්. ඩබ්ලිව්. විඡේකෝන් මහතා පැවැසීය.

එකී ජල මූලාශ්‍රවලට කෘමිනාශක, රසායන සංඝටක අශූචි, සත්ත්ව මළ ආදී විෂකාරකයන් විශාල වශයෙන් මිශ්‍රවී ඇතැයි ඒවායේ ජල සාම්පල් රසායනාගාර පරීක්‍ෂාවට යොමුකිරීමේදී හෙළිවී තිබේ. ඇතැම් ජල මූලාශ්‍රයන්හි සතුන් නෑවීම, වාහන සේදීම, රෙදි සේදීම සහ කෘමිනාශක සහිත භාජන පිරිසිදු කිරීම බහුලව සිදුවේ.

මේ ව්‍යාපෘතිවල ජලය පානය කිරීම නිසා හටගන්නා රෝගවලට ප්‍රතිකාර සඳහා රජයට විශාල මුදලක්‌ වාර්ෂිකව වැයවන අතර එය ජල ව්‍යාපෘතිවලට පිරිපහදු තාක්‍ෂණය සැකැසීමට වැයවන පිරිවැය මෙන් කීප ගුණයක්‌ බවද සමීක්‍ෂණ කණ්‌ඩායම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාකර තිබේ.


http://www.divaina.com/2011/09/26/news21.html

No comments:

Post a Comment