Friday, September 23, 2011

මේ වසරේදී අපේ මුළු සංචාරක පැමිණීම් අටලක්‍ෂය ද ඉක්‌මවනු ඇතැයි අපේක්‍ෂා කරනවා

- ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ වසරේ (2011) කලින් අපේක්‍ෂා කළාට වඩා සංචාරක පැමිණීම් ඉහළ ගොස්‌ ඇති බවත් ඒ අනුව මේ වසර අග වන විට සංචාරක පැමිණීම් ප්‍රමාණය අටලක්‍ෂය (800,000) ද ඉක්‌මවා යනු ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

මුලින් අපේක්‍ෂා කළේ 750,000 ක පමණ සංචාරකයන් පිරිසක්‌ පැමිණෙනු ඇති බව යෑයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කීවේ පසුගියදා ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව මගින් රුසියාවේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි. 18 දා උදේ 5.55 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් රුසියානු සංචාරකයන් 40 දෙනෙක්‌ ශ්‍රී ලංකාවට පැමිණියේ රුසියානු ශ්‍රී ලංකා මංගල ගුවන් ගමන සනිටුහන් කරමිනි. මේ අනුව දිවයින ට පැමිණි සංචාරකයන් ද මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්‌ව සිටීම විශේෂත්වයක්‌ විය.

2010 වසරේදී රුසියාවෙන් සංචාරකයන් 10278 ක්‌ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ වසරේ අගෝස්‌තු මස අග වන විට රුසියානු සංචාරකයන්ගේ පැමිණීම අටදහස ද ඉක්‌මවා ගියා. රුසියාවේ මොස්‌කව් නුවර සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වූ මේ නව සෘජු ගුවන් ගමන් සේවය නිසා රුසියානු සංචාරක පැමිණීම් ඉහළ ගොස්‌ 20,000 ක පමණ සංචාරකයන් පිරිසක්‌ මේ වසර අග වන විට රුසියාවෙන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.

ඉදිරියේදී තවත් රටවල් සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් විපුල වනිගසේකර මහතා සහ මොස්‌කව්හි කොනයිසන්ස්‌ ටුවර්ස්‌ ආයතනයේ සභාපතිනි ඔසරොව් ඉරිනා මහත්මිය ද මෙහිදී කතා කළාය.


http://www.divaina.com/2011/09/23/news17.html

No comments:

Post a Comment