Sunday, September 18, 2011

සිංහරාජය දැන් කාගේ උරුමයක්‌ ද!

ශ්‍රී ලංකාවේ සිතියමක්‌ ඇඳ එහි සිංහරාජ වනාන්තරය ඇඳ පෙන්වන්නැයි මෙරට බොහෝ දේශපාලනඥයන්ට, සංරක්‍ෂණයේ ඉහළ පුටු හොබවන්නන්ට හා හසරක්‌ නොදන්නා පත්තරකාරයන්ට පැවසුවහොත් ඔවුන් අන්දමන්ද වනු නිසැකය. ඒ සිංහරාජ වනාන්තරය තිබෙන තැනවත් ඔවුන් නොදන්නා නිසාය. ශ්‍රී ලංකාවේ සවිස්‌තරාත්මක සිතියමක්‌ ලබාදී සිංහරාජ වනාන්තරය පෙන්වන්නැයි මොවුන්ගෙන්ම යළිත් ඉල්ලා සිටියහොත් ඒ සඳහා කල් මරමින් සිතියම උඩු යටිකුරු කරමින් ඒ මේ අත බලනු නිසැකය. ඒ ඔවුන් සිංහරාජය තිබෙන තැන පමණක්‌ නොව එහි ප්‍රමාණයවත් නොදන්නා බැවිනි.



ශ්‍රී ලංකාවේ සමස්‌ථ භූමි ප්‍රමාණයෙන් 0.17% ක්‌ තරම් කුඩා හෙක්‌ටයාර් 11000 ක්‌ තරම් කෙටි භූමි ප්‍රමාණයකට සීමා වී පවතින සිංහරාජය, මෙ රටේ අන්තිම වැසි වනාන්තර අතළොස්‌සෙන් වැදගත්ම වනාන්තරය ලෙස දන්නෝ කීයෙන් කීදෙනාද? පෙර කී දේශපාලකයන් සංරක්‍ෂණයේ ඉහළ පුටු හොබවන ඇතැමුන් හා වෘත්තිය පිළිබඳ හසරක්‌ නොදන්නා පත්තරකාරයන් නම් මේ බව කිසිත් නොදන්නා බව පැහැදිලිය.

නැතිනම් සිංහරාජ වනාන්තරයට හානියක්‌ සිදුවන අයුරින් වනාන්තර පද්ධතිය මැදින් මාර්ගයක්‌ ඉදිකරන විට අඳ, ගොළු, බිහිරන් සේ බලා සිටින්නේවත් සංවර්ධනයේ නාමයෙන් සැඟවුණු න්‍යාය පත්‍ර මත දේශපාලුවන් විසින් මෙරට ජෛව සම්පත් හා අගනා වනාන්තර "කොටු රූල්" කරන විට ඒවාට එරෙහිව හඬ නඟන පරිසරවේදීන්ට, පාරිසරික මාධ්‍යවේදීන්ට NGO ලේබල් අලවන්නේවත් නැත.

මහා ලොකුවට සංරක්‍ෂණයක්‌ ගැන කතා කරන මෙරටේ අවම තරමින් සිංහරාජ වනාන්තරයවත් රැකගන්නට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ රට තුළ නැති නම්, සිංහරාජ වැනි අගනා වැසි වනාන්තරයකට සිදුවන අබමල් රේණුවක තරමේ හානියක්‌ වළක්‌වන්නට මෙ රටේ රජයට හෝ සංරක්‍ෂණවේදීන් ට නොහැකි නම් හා නොදැනුවත්නම් "සංරක්‍ෂණය" නම් වදන භාවිතයෙන් ඉවත් කොට එය ඉබි යතුරුලා වළදමන ලෙස අප රජයට යෝජනා කර සිටින්නෙමු. මේ රටේ වන සංරක්‍ෂණය ගැන කතාකරන්නේ නම් පළමුව මේ අගනා සිංහරාජය සුරක්‍ෂිත වන පරිදි ඒ වටා ඇති ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු පවරා ගැනීමට නියමිත සියලු ඉඩම් පවරා ගනිමින් මේ වනාන්තරය සවිමත්ව ස්‌ථාපිත කළ යුතුය යන්න ද අපි අවධාරණය කරමු.

එහෙත් ඒ වෙනුවට සිංහරාජය පමණක්‌ නොව කන්නෙලිය, නකල්ස්‌ වැනි වනාන්තරවල සංවේදී කලාපයේ ඇති ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු ඉඩම් දිනෙන් දින දේශපාලන හිතවතුන්ට ලබාදෙන බව දැන් පැහැදිලි වී ඇත. නැතහොත් සංවර්ධනයේ නාමයෙන් පාරවල් තනා එම ඉඩම්වලට තව තවත් වටිනාකම් සපයා දෙනු පෙනෙන්නේ තවත් නොබෝ දිනකින් මෙම ඉඩම් සඳහා ආයෝජන අවස්‌ථා ගෙන ඒමේ අරමුණින් බව පැහැදිලිය. කලවාන ආසනයේ ඉළුඹකන්දත් - කොළොන්න ආසනයේ සූරියකන්දත් යාකෙරෙමින් ඉදිකිරීමට යෝජිත හා දැනටමත් පරිසර නීති උල්ලංඝනය කරමින් අනවසරයෙන් කිලෝමීටර් තුනක්‌ පමණ දක්‌වා ඉදිකර ඇති මාර්ගයත් අපට හඳුන්වන්නට සිදුවන්නේ මෙසේ සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට නියමිත ඉඩම් සඳහා අගය වැඩි කිරීමේ (ඪ්කමැ aded) ක්‍රියාදාමයක්‌ ලෙසය. ඒ නැතිව සූරියකන්ද දක්‌වා තවත් ප්‍රවේශ මාර්ගයක්‌ තැනීමේ කිසිදු අවශ්‍යතාවක්‌ නැත.

සූරියකන්ද නම් කඩමණ්‌ඩිය දක්‌වා ඇඹිලිපිටිය - පණාමුරේ ඔස්‌සේද, මාදම්පේ - රක්‌වාන ඔස්‌සේද, දෙණියායේ සිටද ප්‍රධාන මාර්ග තුනක්‌ ඇත. එවන් විටෙක වනාන්තරයක්‌ මැදින් කිලෝමීටර් හතක පමණ වනාන්තර හා පාරිසරික සම්පත් විනාශ කරමින් රුපියල් ලක්‍ෂ 65 ක වියදමෙන් මාර්ගයක්‌ ඉදිකිරීම කාගේ අවශ්‍යතාව මත සිදුවන්නක්‌ද යන්න මේ රටේ ජනතාව දැනගත යුතු කාරණයකි. රටේ බොහෝ ප්‍රදේශවල නව මාර්ග ඉදිකිරීමත්, මාර්ග රැසක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහාත් ඕනෑතරම් අවශ්‍යතා තිබියදී එම ප්‍රමුඛතාවන් සඳහා කටයුතු නොකර සිංහරාජය බඳු අගනා වනාන්තරයක්‌ දෙකඩ වන අයුරින් මාර්ගයක්‌ ඉදිකරනු පිණිස මහා මාර්ග අමාත්‍යාංශය රුපියල් ලක්‍ෂ 65 ක්‌ වැය කිරීම අදහාගත නොහැකි දෙයකි. පාරිසරික අමාත්‍යාංශය හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය මෙවන් සංවේදී පාරිසරික ප්‍රශ්න කෙරෙහි දක්‌වන අඳ ගොළු බිහිරි ප්‍රතිපත්තිය ද මෙහිදී මහත් ගැටලුවකි. නොහොත් සංරක්‍ෂණය පිළිබඳ ඔවුන් ගසන පම්පෝරියේ රෙදි ගැලවී තමන් නිරුවත් වී ඇති අයුරුවත් ඔවුන් නොදන්නා බව මේ සිදුවීම් ඔස්‌සේ පැහැදිලි වේ.

ඉළුඔකන්ද සිට සූරියකන්ද දක්‌වා ඉදිකරමින් පවතින වනගත මාර්ගය කිසිලෙසකින්වත් ඉදිවිය නොවිය යුතු මාර්ගයක්‌ ලෙස අපි දකින්නෙමු. එහෙත් ඉළුඔකන්ද හා ආශ්‍රිත ගම්මානවල ගම්වැසියන්ගේ පොදු (මාර්ග) පහසුකම් දියුණු නොකරන්නැයි ද එයින් අපි කිසිවිටෙකත් අදහස්‌ නොකරමු. ලියුම්කරු සොයා පැමිණි ඉළුඔකන්දේ සංඝයාවහන්සේලාටද මේ බව අප අවධාරණය කර සිටියෙමු. එහෙත් ඉළුඔකන්දේ හෝ සූරියකන්දේ ඉඩම්වල අගය වැඩිකර ඒවාට ආයෝජන අවස්‌ථා ගෙන ඒමේදී ඒ අවට ගම්මානවාසීන් වන ඔබගේ ඉඩම්ද තුට්‌ටු දෙකට ගෙන ඔබේ උරුමය සිංහරාජය අවටින් පළවාහරින්නට උත්සාහ දරන දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න යෑයි අපි ඉළුඔකන්ද ආශ්‍රිත ජනතාවට සිහිපත් කර සිටින්නට කැමැතිය. ඒ සඳහා දුම්බර වනාන්තරය අපට කදිම නිදසුන් සපයයි. අද ඒ අවට ගම්මාන වැසියන්ගේ ඉඩම් තුට්‌ටු දෙකට ගෙන මහා හෝටල්, අවන්හල්, නිවාඩු නිකේතන ඉදිවෙමින් පවතී. මේවා පසුපසද සිටින්නේ බලවත් දේශපාලකයින්ය. එබැවින් පළමුව තමන්ගේ උරුමය රැකගන්නැයි අපි ඒ ආශ්‍රිත ජනතාවගෙන් ඉල්ලා සිටින අතර අප මේ හඬනගන්නේ ජාතියේම උරුමය වන ජාතික උරුම වනාන්තර භූමි පනතින් ආරක්‍ෂිත මේ රටේ එකම වනාන්තරය වන හා ලෝක උරුම වනාන්තරයක්‌ වන සිංහරාජය නමැති සොච්චම් බිම්කඩ රැකගැනීම සඳහා බවත් අවධාරණය කරන්නට කැමිතිය.

සිංහරාජ වනාන්තරයේ ජෛව විවිධත්ව අගය හා වටිනාකම් පිළිබඳ අප මේ ලිපියෙන් විග්‍රහ කරන්නට බලාපොරොත්තු වන්නේ නැත. ඒ පිළිබඳ ඇති තරම් ලිපි පසුගිය දිනවල පුවත්පත්වල පළවිය. එහෙත්, ජලපෝෂණ වටිනාකම අතින් හා වනාන්තර වියනක්‌ ලෙස සිංහරාජයෙන් රටට ලැබෙන ප්‍රයෝජනයත් මේ රටේ ජනතාව, විශේෂයෙන්ම හසරක්‌ නොදන්නා දේශපාලුවන් ඇතුළු පිරිස දැනගෙන සිටීම ඉතා වැදගත්ය.

අප සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ ප්‍රමාණය හෙක්‌ටයාර් 11000 ක්‌ තරම් යෑයි කීවද එහි ඇති සැබෑ නොඉඳුල් වනාන්තර ප්‍රමාණය වන්නේ හෙක්‌ටයාර් හත්දහසකට (සියයට 60) ආසන්න ප්‍රමාණයකි. ඉතිරියෙන් බහුතරය දැව හෙලීම්වලින් පසු වැඩුණු ද්විතීක වනාන්තරයයි. ඉතිරි කොටස කැකිල්ල හා පර්ණාංග වලින් සමන්විත ලඳු කැලෑවයි. එහෙත් වැසි වනාන්තරයක්‌ ලෙස මෙමගින් පෝෂණය වන ප්‍රධාන ජල ධාරා රැසක්‌ අද දකුණුලක ජනයාගේ පිපාසාව සංසිඳවීම ඇතුළු අනෙකුත් ජල අවශ්‍යතා සපුරාලයි. ශ්‍රී ලංකා සිතියමක්‌ පරීක්‍ෂා කර බලන විට මෙතරම් සේවයක්‌ සපයන සිංහරාජය මොනතරම් සම්පීඩනයකට ලක්‌ව, කෙතරම් ජනාකීර්ණ ගම්මාන රැසකට මැදිව පවතින හුදෙකලා "දූපතක්‌" ද යන්න ඔබට පැහැදිලි වනු ඇත. මෙවන් වනාන්තරයකට පෙර කිව් පරිදි අබමල් රේණුවක තරමේ බලපෑමක්‌ සිදුකළ ද විය හැකි විනාශය අති මහත්ය. එවන් විටෙක මොනතරම් ක්‍රියාමාර්ග මෙම වනාන්තරයේ ආරක්‍ෂාව වෙනුවෙන් ගත යුතුව ඇත්තේද? මධ්‍යම රජයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ අනුව ගෙන ඇති සංරක්‍ෂණ ක්‍රියාදාම මෙන්ම පවතින නීතිරීති ද බොහෝ දුරට ප්‍රමාණවත්ය. එහෙත් එහි වගකීම දකුණු හා සබරගමු පළාත් සභාවලටද සිංහරාජය වටා ඇති සියලුම ප්‍රාදේශීය සභාවලින් නොනැවතී ග්‍රාම නිලධාරී කොට්‌ඨාශ දක්‌වා පැතිර යයි. එවන් සංරක්‍ෂණ අවශ්‍යතාවක්‌ තිබියදී ඉළුඹකන්ද සිට සූරියකන්ද දක්‌වා මාර්ගයක්‌ ඉදිකිරීමට යෝජනා කළ හා එය කැඩීමට ක්‍රියාත්මක වූ කොළොන්නේ හා කළවානේ රජයට සම්බන්ධ ආසන සංවිධායකවරු ඇතුළු පිරිසට එම වටිනාකම නොතේරෙන්නේවත් එම වගකීම නොමැත්තේවත් ඇයි ද යන්න අපට ප්‍රශ්න කිරීමට සිදුවේ. මෙවන් වනාන්තරයක්‌ සුරක්‍ෂිත කිරීමට දායකත්වය ලබාදී සිංහරාජ වනාන්තරයේ ආරක්‍ෂාවත් එහි ස්‌ථාවරත්වයත් සඳහා ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම සතු ඉඩම් වහා රජයට පවරා ගැන්නට බලකර ඒ උතුම් සද්කාර්යයට දායක වූයේ නම් ප්‍රදේශවාසීන් වශයෙන් මේ දේශපාලකයන්ට හා ඊට සම්බන්ධ නිලධාරීන්ට "යන තැනකටවත්" වැඩක්‌ කරගන්නට ඉඩ සැලසේ. නැතහොත් තමාගේ දූ දරුවන් ඇතුළු මෙරටේ අනාගත දූ දරු පරම්පරාව වෙනුවෙන් උතුම් කාර්යයක්‌ සිදුකළේය යනුවෙන් සැනසුම් සුසුම් හෙළන්නට හැකියාව තිබිණි. ඒ නැතිව සොබාදහම පවා කම්පා කරමින් ලෝක ගෝලීය ඒකාග්‍රතාවට පවා බලපෑම් කරමින් මේ නොඉඳුල් වනාන්තරයේ අතු කැබැල්ලක්‌ හෝ කඩා දැමීමේ පාපයෙන් ඔවුන් මේ සමස්‌ථ මිහිමවටම සිදුකරනුයේ බලවත් නොපනත්කමකි.

කෙසේ හෝ දැනටමත් යුනෙස්‌කෝ සංවිධානය පවා ලෝක උරුම සිංහරාජයට බලපෑම් කරමින් සිදුවන මෙවන් සංවර්ධන කටයුතු පිළිබඳ ලක්‌ රජයෙන් විමසීම් කර ඇති බව දැනගන්නට ලැබේ. පරිසර අමාත්‍යවරයාද නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ වනාන්තරයට බලපෑමක්‌ සිදුවන මෙම නව මාර්ගය සැකසීම වහාම අත්හිටුවීම සඳහා තමන් නියෝග නිකුත් කළ බවයි.

ජගත් කණහැරආරච්චි

http://www.divaina.com/2011/09/18/feature16.html

No comments:

Post a Comment