සිංහරාජ වනාන්තරයේ නැඟෙනහිර කොටසේ පිහිටි ඉලුඹකන්දේ සිට සූරියකන්දට ගොඩනඟමින් තිබෙන පාර පිළිබඳව පුවත්පත් හා මාධ්‍ය වාර්තා කිහිපයක් ම පසුගිය දිනවල පළ ව තිබිණි.
කොලොන්න ප්‍රාදේශීය සභාවට අයත් ගම්මාන, කලවාන ප්‍රාදේශීය සභාවට අයත් ගම්මාන යා කිරීම මේ මාර්ගයෙන් සිදු වන බැව් පෙනේ.
සිංහරාජයේ බටහිර පෙදෙස මෙන් නො ව ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන නැඟෙනහිර පෙදෙස සංරක්‍ෂණ විද්‍යාඥයන් ගේත් බලධාරීන් ගේත් අවධානයට එතරම් ලක් නො වුණු පෙදෙසක් වේ. පසුගිය වකවානුවේ විශේෂයෙන් උරගයන් හා උභයජීවීන් පිළිබඳව කළ අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ පෙදෙස බටහිර පෙදෙස තරමට ම ජීවවිද්‍යාත්මක වශයෙන් වැදගත් බව ය.
සංරක්‌ෂණය වෙනුවෙන් කැප වුණු ගවේෂක-විද්‍යාඥ කිහිප දෙනකු සමග සූරියකන්ද කෙළවරේ සිට ඉලුඹකන්ද දක්‌වා වූ කිලෝමීටර 34ක් වූ මේ යෝජිත මුළු මඟ දිගේ ගමන් කිරීමේ අවස්‌ථාව මීට සති කිහිපයකට පෙර මට ලැබිණි.
මාර්ගය වැටී ඇත්තේ විවියන සහිත, හොඳින් වැඩුණු ප්‍රාථමික වනාන්තර කුට්‌ටි හා යළි ජනනය වෙමින් පවතින වනාන්තර කුටිටි හරහා ය. ඒ අතර තැනින් තැන වරින් වර ගිනිගැනීමෙන් හටගත් පතන තණබිම් දක්‌නට ලැබේ. හොඳ ප්‍රාථමික වැසි වනාන්තර කුට්‌ටි තුළ ඒ හෙවන ලබමින් වැවෙන එනසාල් වගාවන් මඟ දිගට ම දක්‌නට ලැබිණි. සූරියකන්ද කෙළවරට වන්නට මාර්ගය දෙපස සිංහරාජ කබනික කෘෂි සමාගම මගින් ඉදි කරන ලද අනතුරු හැඟවීම් පුවරු දක්‌නට ලැබුණු අතර අනවසරයෙන් ඇතුළු වන්නන්ට ඉන් අනතුරු හඟවා තිබිණි.
මුළු මාර්ගයේ ම පාහේ ගමන් කරන්නේ එක් පසකින් නැඟෙනහිර සිජංහරාජය ද අනෙක් පසින් බෙරගල-හඳපාන්ඇල්ල කඳු වැටිය ද මැදින් දිවෙන සුන්දර වූ නිම්නයක් හරහා ය.
වැඩුණු ප්‍රාථමික වනාන්තර, යළි පුබුදින වනාන්තර හා තණ බිම්වලින් සමන්විත වන යෝජිත මාර්ගය වැටී ඇති මේ මුළු භූමි භාගය හෙක්‌ටයාර 1000ක් පමණ වේ. ඒවා අයත් වන්නේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසම යටතට ය.
2001 හා 2004 දී නිකුත් කළ ජනාධිපති නියෝග 2ක්, අගමැති හා කැබිනට් මණ්‌ඩල නිර්දේශ යුගලක් මගින් සිංහරාජය, නකල්ස්, ශ්‍රීපාද අඩවිය, කන්නෙලිය, නාකියාදෙනිය හා දෙදියගල ස්‌වාභාවික වනාන්තර යාබද සියලු රජයේ කැළෑ වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරාගැනීමට නිර්දේශ කර තිබේ. මෙයින් 2004 දී නිකුත් කළ නිර්දේශය මඟින් නැඟෙනහිර සිංහරාජයේ ඉලුඹකන්ද (හෙක්‌ටයාර් 567), මෝනින්සයිඩ් (හෙක්‌ටයාර 55), ඇබරිෙµdයිල් වතු යාය (හෙක්‌ටයාර 191), හේස් වතුයාය (හෙක්‌ටයාර 137), ගොන්ගල (හෙක්‌ටයාර 138) පවරාගැනීමට නිර්දේශ කෙරී ඇත. 2009 ජුලි 22 දින කැබිනට් මණ්‌ඩලය මඟින් ද මේ තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ. නිර්දේශ නිකුත් කර වසර 10කට ආසන්න කාලයක් ගෙවී ගියත් නිලධාරී යාන්ත්‍රණයේa අකර්මණ්‍යතා නිසා තවමත් මේ ඉඩම්වලට ලැබිය යුතු ආරක්‌ෂිත තැන ලැබී නැති බව පැහැදිලි ය.
මා හට දැනගැනීමට ලැබි තිබෙන කරුණු අනුව ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිසමේ සභාපති මෑතක දී වන සංරක්‌ෂණ දෙපාරතමේන්තුව වෙත ලිපියකින් ද සිංහරාජය අවට රජයේ කළෑ බිම්වලට සිදු වන නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමක් දී ඇති අතර සිංහරාජ වනාන්තරයේ ජෛවවිද්‍යාත්මක වැදගත්කම සලකා මේ ඉඩම් ඉක්‌මනින් පවරා ගැනීමේ වැදගත්කම සිහිපත් කර තිබේ. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවල හැටියට මේ ඉඩම්වල මිනුම් කටයුතු මේ වන විට අවසන් ව ඇති අතර ඉතිරි ව ඇත්තේ පරිසර හා ස්‌වාභාවික සම්පත් අමාත්‍යංශයේ අනුමැතිය ඇති ව වන ආඥාපනතේ 38(අ) වගන්තිය යටතේ මේ ඉඩම් පවරා ගැනීම ය.
නැඟෙනහිර සිංහරාජ කොටසේ ඉතිරි ව ඇති වනාන්තර කුට්‌ටි කරුණු කීපයකින් වැදගත් ය. පළමුව කලින් ද සඳහන් කළ ජෛවවිද්‍යාත්මක වැදගත්කම ය. මේ ප්‍රදේශයේ සිදු කර ඇති අධ්‍යයන සංඛ්‍යාව ඉතා සීමිත නිසා එහි ජෛවවිවිධත්වය ගැන අප දන්නා තරමට වඩා නො දන්නා ප්‍රමාණය වැඩි ය. දෙවැනුව නැඟෙනහිර සිංහරාජයේ සිට ඊට සමාන්තරව පිහිටි බෙරගල හඳපාන්ඇල්ල කඳුවැටිය අතර ජීවීන්ට ගමන් කළ හැකි මංපෙත (කොරිඩෝව) වැටී ඇත්තේ මේ හරහා වීම ය. අන්තර්ජාතික රතු දත්ත පොතේ වඳ වීමට ආසන්න ලෙස නම් කර ඇති සත්ත්ව විශේෂ 12ක පමණ ගේ ලොව එක ම වාස භූමිය වන්නේ මේ පෙදෙසයි. එම ලේඛනය මගින් වඳ වීමේ අවදානමට ලක් ව ඇතැයි හඳුනාගෙන ඇති තවත් සත්ත්ව විශේෂ 30කට අවැසි තීරණාත්මක නිවහන් සපයන භූමි භාගය වන්නේ ද මෙයයි. කුකුළේගඟට ජලය සපයන දෙල්ගොඩ ගඟේ පෝෂක පෙදෙස වන්නේ ද මේ වන බිමයි.
යෝජිත මාර්ගය ඉදි කැරුණ හොත් කුඩා පරිමාණ තේ වගා හා එනසාල් වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී යනු ඇත. ඉතා මැතක දී ඉදි කළ එනසාල් සකස් කිරීමේ වාඩි මාර්ගයේ සූරියකන්ද කෙළවරේ දී අපි දුටුවෙමු. සැලැස්‌මකින් තොර ව සිදු කරන පරිසර සංචාර ව්‍යාපෘති මේ සුන්දර පෙදෙස ආක්‍රමණය කිරීමට ඇති ඉඩකඩ අනෙක් තර්ජනයයි.
සිංහරාජ රක්‌ෂිතය බඳු මාර්ග සංවර්ධන කටයුත්තක දී සිදු කළ යුතු පරිසර ඇගයීම් වාර්තාවක් හෝ අඩු ම තරමේ මූලික පාරිසරික විමර්ශනයක් වත් මේ මාර්ග වැඩසටහන ඇරඹිමට පෙර සිදු කළ යුතු බවක් දැනගන්නට නැත.
සිංහරාජය ලෝක උරුම වන බිමක් ලෙස නම් කෙරුණේ 1988 දී ය. ඒ මෙරට පරිසරවේදීන්, විද්‍යාඥයන්, පොදු ජනතාව කලක සිට කළ උද්ඝෝෂණයක අවසාන ප්‍රතිඵලය ලෙස සැලකිය හැකි ය.
සිංහරාජ වනාන්තරයට මුල් ම තර්ජනය එල්ල වූවේ 70 ගණන්වල තුනී ලෑලි මඟින් තේ පෙට්‌ටි හා ගෘහ භාණ්‌ඩ තැනීමට අරඹන ලද තෝරා ගත් ගස් කැපීමේ (Selective logging) මඟිනි.
1983 වසරේ මහා වන සැලැස්‌ම මඟින් ඊනියා වන කළමනාකරණය මුවාවෙන් ඉදිරිපත් කර තිබුණු මෙරට ස්‌වාභාවික වනාන්තරය විනාශ කිරීමේ වැඩපිළිවෙළ දෙවැන්න විය.
සංරක්‍ෂණයට හිතැති ජනතාව ගෙන් එල්ල වූ ප්‍රබල විරෝධය නිසා එය හකුළා ගැනීමට සිදු වූ අතර ජාතික හා ජාත්‍යන්තර ව එල්ල වූ කරුණු සහිත ප්‍රබල විරෝධය නිසා මෙරට ස්‌වාභාවික වනාන්තර තුළ තෝරාගත් ගස් කපා හෙළීම තහනම් කරන ලදී. එය අදටත් වලංගු ය.
මේ සංරක්‍ෂණ ක්‍රියාදාමය නිසා ම සිංහරාජයට විශාල ජනතා අවධානයක් යොමු වූ අතර මෙරට ස්‌වාභාවික වනාන්තර අතර කිරුළ දරන වනාන්තරය ද එය වේ. සිංහරාජය පොදු ජනතාව ගේ සිත් තුළ තැන්පත් වූ වචනයක් ව ඇත. මෙරට පාසල් හා සරසවි විද්‍යා අධ්‍යාපනයේ දී වනාන්තර සංරක්‍ෂණයේ වැදගත්කම විදහා දක්‌වන ලද මහඟු නිදසුනක් වේ. සංචාරකයක් සඳහා දොරටු විවර කිරීම මඟින් විශාල ආදායමක් රජයට උපයා දීමට ද මේ වනාන්තර හැකි ව තිබේ.
සිංහරාජ වනාන්තරය යුනෙස්‌කෝවේ ලෝක උරුම වන භූමි නිර්ණායක යටතේ ලෝක උරුම වන බිමක් ලෙස නම් කැරුණේ මේ ක්‍රියාදාමයේ කෙළවරක් ලෙස ය.
යෝජිත මාර්ගය ඉදි කැරුණ හොත් එමඟින් සිංහරාජ වනාන්තරයේ පැවැත්මට එල්ල වන තර්ජනය අති විශාල වනු ඇත. මෙය හුදු හිතලුවක් නො වේ. මෙරට ස්‌වාභාවික වනාන්තර ආශ්‍රිතව බිම් මට්‌ටමින් කටයුතු සිදු වන ආකාරය දන්නා අය හොඳින් ම දන්නා කරුණකි. අද සිදු වී ඇත්තේ නීති පොතෙන් ආරක්‌ෂාව දී තිබිය දී මෙරට ස්‌වාභාවික වනාන්තරයන්ට හතර වටින් ම තර්ජන එල්ල වී තිබීමයි. තේ හා එනසාල් සඳහා ස්‌වාභාවික වනාන්තර බිම් අල්ලා ගැනීම අද බහුලව සිදු වේ. ඊට අමතරව ගොඩනැඟිලි නිවාස ඉදි කිරීම, ශාක හා සතුන් ඉවත් කිරීම, ජල දහරා අපවිත්‍ර වන පරිදි කෘෂි රසායන භාවිතය සිංහරාජය වටා සැම දිශාවකින් ම සිදු වෙමින් පවතී.
මේ සිංහරාජ වනාන්තරය අප ගේ ජීවිත කාලය තුළ තර්ජනයට ලක් වූ තෙවැනි වතාවයි. මුල් අවස්‌ථාවන් යුගලේ දී තර්ජනය එල්ල වූවේ ජත්‍යන්තර ආධාර ලැබූ ජාතික වැඩසටහන්වලිනි. මේ අවස්‌ථාවේ එය සිදු වන්නේ ප්‍රාදේශීය ප්‍රවණතා හරහා ටිකෙන් ටික ය. මේ ප්‍රදේශයට නිතර නො යන්නකුට එය පෙනෙන්නේ නැත. 1990 ගණන්වල දී ගුවනින් ලබාගත් වන ඡායාරූප සමඟ අන්තර්ජාලය හරහා මෑතකාලීන චන්ද්‍රිකා ඡායාරූප සංසන්දනය කරන්නකුට මේ වන විනාශයේ තරම වටහා ගත හැකි ය. සිංහරාජයේ කුඩව හා වාරුකන්දෙනිය ගම්මාන යුගල ආශ්‍රිතව සිදු වන නීතිවිරෝධි ක්‍රියා හර්ෂ පෙරේරා තම "සිංහරාජයේ සංරක්‌ෂණය" කෘතිය තුළින් පැහැදිලි කර ඇත. මගේ අත්දැකීම්වල හැටියට සිංහරාජයට ප්‍රධානතම තර්ජනය එල්ල වී ඇත්තේ තේ වගාව සඳහා ඉඩම් අල්ලා ගැනීම මගිනි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සිංහරාජයට පැමිණෙන සංචාරකයන් කළමනාකරණයට වැඩි කාලයක් හා ශ්‍රමයක් වෙන් කරන නිසා දෝ මේ ක්‍රියා වැළැක්‌වීමට කටයුතු කරන බවක් නො පෙනේ.
මේ මොහොතේ සිදු විය යුතු අත්‍යවශ්‍ය ම කරුණ වන්නේ නැඟෙනහිර සිංහරාජ පෙදෙසේ ඇති සියලු වනබිම් වහා ම ක්‍රියාත්මක පරිදි වනසංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීමට පරිසර අමාත්‍යංශය විසින් කටයුතු කිරීමයි. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් නො පමාව කළ යුතු කරුණ වන්නේ සූරියකන්ද ආසන්නයේ සුදුසු බිමක අඩවි වන කාර්යාලයක් ආරම්භ කිරීමයි. මුළු නැඟෙනහිර සිංහරාජය ම ආවරණය වන පරිදි බීට්‌ටු කීපයක් ඇති කළ හැකි ය. ඉන්පසු ඒ මුළු භූමිය ම දැනට ඇති ලෝක උරුම වන බිමට යා කිරීමට කටයුතු කළ හැකි ය.
එසේ නො වුණ හොත් සිංහරාජයට ඇති ලෝක උරුම වන භූමි ස්‌ථානය නැති වී අවදානමට ලක් වූ ලෝක උරුම භූමියක් ලෙස නාමකරණයට ලක් වීම බොහෝ දුරට සිදු වනු ඇත.
ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් පිට සිරිපා අඩවිය, හෝර්ටන්තැන්න හා නකල්ස් එක් කොට තැනුණු මධ්‍යම කඳුකරය මෙරට දෙවැනි ස්‌වාභාවික පෙදෙසක් ලෙස නම් කැරුණේ පසුගිය වසරේ ය. යුනෙස්‌කෝව ඊට එකඟ ව ඇත්තේ මධ්‍යම කඳුකරයේ වනබිම් සඳහා විධිමත් කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කිරීමේ කොන්දේසි මත ය.
ඒ සැලසුම සකස් වෙමින් තිබිය දී මේ වන විටත් නිල වශයෙන් පිළිගැනී තිබෙන මෙරට පළමු ස්‌වාභාවික ලෝක උරුමය විනාශ වීමේ තර්ජනයට ලක් ව තිබීම බේදජනක ය.
නිලධාරි යාන්ත්‍රණයේ අකාර්යක්‌ෂ්මතාව හා බිම් මට්‌ටමේ නීති ක්‍රියාත්මක නො වීම මීට සෘජු ව ම බලපා තිබේ.
දෙනියායේ පනිල්කන්ද, අනින්කන්ද පෙදෙසටත්, මධ්‍යම කඳුකරයේ පිදුරුතලාගල, කඳපොල-සීතාඑළිය හා මීරිමාන වන රක්‍ෂිතයන්ට සිදු ව ඇති දේ ගූගල් අර්ත්හි මෑතකාලීන චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලි වේ.
මේ රටේ ඉහළ ම තැන් හොබවන බලධාරීන් සැම ගේ අනාගත පැවැත්මට වැදගත් වන තීන්දු ගැනීමට ප්‍රමාද වන තරමට සිංහරාජයට ද ඒ ඉරණම අත් වීම නොවැළැක්‌විය හැකි වනු ඇත. සිංහරාජය අප සැම ගේ උරුමයයි. එය රැක ගැනීමට පෙරට ඒම සැම ගේ යුතුකමයි.
(මහාචාර්ය නිමල් ගුණතිලක, සාවිත්‍රි ගුණතිලක සමග මෙරට ස්‌වාභාවික වනාන්තරයක කෙරෙන දීර්ඝතම අධ්‍යයනයක් ලෙස සැලකිය හැකි සිංහරාජයේ තුරුලතා පිළිබඳ අධ්‍යයනයන්හි වසර 40කට ආසන්න කාලයක් කටයුතු කරයි. හෙතෙම මෙරට ස්‌වාභාවික වනාන්තර හා එහි ජෛවවිවිධත්වය පිළිබඳව ඉහළ පෙළේ දැනුමක් ඇත්තෙකි.)
No comments:
Post a Comment