Wednesday, September 28, 2011

පාඩු ලබන සංස්‌ථා හතරක්‌ ඈවර කරයි

අකිත පෙරේරා

රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින, නැවත ලාභ ඉපැයිය නොහැකි පිඟන් සංස්‌ථාව ඇතුළු රාජ්‍ය ආයතන හතරක්‌ ඈවර කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇතැයි එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය.

කන්තලේ සීනි සමාගම, මාවනැල්ල රබර් සමාගම, ඇඹිලිපිටිය කඩදාස සංස්‌ථාව සහ පිඟන් සංස්‌ථාව යන ආයතන හතර මෙසේ ඈවර කිරීම සඳහා යෝජනා කැඳවා ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්‌ථාවේ ප්‍රගතිය සම්බන්ධව පැවසීමට කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පෙරේදා (26 දා) කීය.

මෙම රාජ්‍ය ආයතන අතරින් ඇඹිලිපිටිය කඩදාසි සංස්‌ථාව ඔස්‌ටේ්‍රලියාවට ලබාදීමට දැනටමත් තීරණය කර ඇතැයිද කන්තලේ සීනි සහ මාවනැල්ල රබර් යන සමාගම් සඳහා යෝජනා කැඳවා ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

පිඟන් සංස්‌ථාවේ දැනට සේවයේ නියුතු 576 දෙනා සඳහා වන්දියක්‌ ලබාදීමට කටයුතු කර එය ඈවර කරන බවද එම ආයතනයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය මැටි සහ දර සොයා ගැනීමට ඇති අපහසුතාව නිසා එම සංස්‌ථාව පවත්වාගෙනයැමට අසීරුවී ඇතැයිද හෙතෙම කීය.

කඩා වැටුනු ආයතන 23 ක්‌ නැවත නගා සිටුවීම සඳහා ඒවා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට පත්කළ බවත් ඒවා අතරින් ආයතන රැසක්‌ නැවත ලාභ ඉපයිය හැකි තත්ත්වයට පත්කර ඇතැයිද කී ලේකම්වරයා, අදාළ ආයතන හතර ලාභ ඉපයිය නොහැකි නිසා මේ තීරණයට එළඹි බව ද කියා සිටියේය.


http://www.divaina.com/2011/09/28/news05.html

No comments:

Post a Comment