Sunday, September 25, 2011

අනේ! අපොයි සිංහරාජ වනන්තරේ

ජගත් කණහැරආරච්චි


සිංහරාජ වනාන්තරයට හානිදායක වන අයුරින් කලවාන - ඉළුඹකන්ද සිට කොළොන්නේ සූරියකන්ද දක්‌වා පාරිසරික නීති උල්ලංඝනය කරමින් වනාන්තරය මැදින් ඉදිවන මාර්ගය ගැන දැන් නොදන්නා කෙනකු නැති තරම්ය. ඒ තරමටම මෙම සංවර්ධන කටයුත්ත ගැන ජනමාධ්‍යය හඬ අවදි කළේය.


මෙයින් සිංහරාජ වනාන්තරයට සිදුවන පාරිසරික බලපෑම ගැන ද ජනමාධ්‍ය මගින් කරුණු ගෙනහැර දක්‌වන ලදී. එහෙත් හිටිවනම පසුගිය දිනෙක එහි රැස්‌වූ පිරිසක්‌ යොදවා බුල්ඩෝසර භාවිත කරමින් ඉළුඹකන්දේ සිට මෙම යෝජිත මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ දුරක්‌ කපා නිම කළ බව මාධ්‍ය වාර්තා කළේය. තත්ත්වය මෙසේ හෙයින් පසුදා 13 දා කොළඹදී පරිසර සංගම් එකමුතුව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ කැඳෙව්වේය. මෙහි අරමුණ වූයේ මේ දක්‌වා මෙම යෝජිත මාර්ගය මගින් ලෝක උරුම සිංහරාජ වනාන්තරයට සිදුවන හානිය ගැන කිසිදු තැකීමක්‌ හා ඊට එරෙහිව ඇති සමාජ බලවේග නොසැලකිල්ලට ගෙන සිදු කරගෙන යන මෙම ක්‍රියාදාමයට විරෝධය පළ කිරීමයි. එහිදී අනාවරණය කෙරුණුq තවත් වැදගත් කරුණක්‌ වූයේ සිංහරාජ සංවේදී කලාපය සැලකිල්ලට ගෙන එහි සිදුවන මෙම පාරිසරික විනාශකාරී ක්‍රියාදාමයට එරෙහිව මධ්‍යම පරිසර අධිකාරියට හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට නීතිමය පියවර ගත හැකිව තිබියදීත් එය ඉටු නොකිරීමේ ක්‍රියාදාමයක එම ආයතන පසුවන්නේ ඇයිද යන්න ප්‍රශ්න කිරීමට ලක්‌ කිරීමය. කෙසේ හෝ පාරිසරික සංගම් එකමුතුවේදී අදහස්‌ දැක්‌වූ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මෙම යෝජිත (හා රහසේ ඉදිකරන) මාර්ගයේ නීතිවිරෝධී බව මෙන්ම එය නැවැත්වීමට ගත හැකි නීතිමය ක්‍රියාදාමය ගැන ද විග්‍රහ කළේය. එහිදී ඔහු කියා සිටියේ පාර ඉදිකිරීම වැළැක්‌වීමට නීතිමය බලතල මධ්‍යම පරිසර අධිකාරියට තිබියදී ඔවුන් ඒ දේ සිදු නොකළ බවයි. වැඩිදුරටත් මෙහිදී අදහස්‌ දැක්‌වූ ජගත් ගුණවර්ධන මහතා මෙසේද පැවසුවේය.


වසර 2004 දී සිංහරාජ වනාන්තරයට තවත් හෙක්‌ටයාර් 2500 ක භූමි ප්‍රමාණයක්‌ අත්පත් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබා දුන්නා. මේවනවිට ඉඩම් කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවත් මෙම භූමි ප්‍රමාණය අත්පත්කර ගැනීමට කටයුතු කරගෙන යනවා. සිංහරාජයට යාබදව බෙරගල හෙවත් බෙරලිගල කියන ප්‍රදේශය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වෙනවා. වන ආඥ පනතේ 20 වැනි වගන්තිය යටතේ රජයේ වනාන්තර ලෙසයි මේ පෙදෙස්‌ පාලනය වෙන්නේ. මෙහි පරිපාලන වාර්තාවල පෙන්වා දී තිබෙන්නේ බෙරගල යෝජිත රක්‍ෂිතය කියලයි. දැනට මේක ප්‍රමාදවෙලා තිබෙන්නේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් සියලුම ඉඩම් අත්පත් කර ගැනීමේ නීතියට අනුව සියලුම ඉඩම් අත්පත් කර ගෙන ඒකට ගැසට්‌ නිවේදනයක්‌ මගින් ආරක්‍ෂිත ප්‍රදේශයක්‌ ලෙසට නම් කිරීමට කටයුතු කරගෙන යන නිසයි. කෙසේ හෝ මේ මාර්ගය ඉදිකෙරෙන්නේ යෝජිත රක්‍ෂිතය හරහායි. මේ ක්‍රියාවෙන් මෙම යෝජිත රක්‍ෂිත ප්‍රදේශය නීතිමය වශයෙන් ආරක්‍ෂා කර ගැනීමට තිබෙන හැකියාව නැති වෙනවා. ඊළඟට තිබෙන කොටස රජයේ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභා පනත යටතේ පාරක්‌ ඉදිකිරීම පනතට විරුද්ධ නිසා ඒ සඳහා විශේෂ අනුමැතියක්‌ ලබා ගත යුතුයි. මේ වනතෙක්‌ මේ මාර්ග ඉදිකිරීමට අනුමැතිය ලබා ගෙන නැහැ. සංවේදී පරිසර පද්ධතියක්‌ හරහා පාරක්‌ ඉදිවෙනවා නම් ඒ පරිසර පද්ධතිය පිළිබඳ පූර්ණ අධ්‍යනයක්‌ කරල පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කළ යුතුයි. මෙය අදාළ පාර්ශ්වය සිදුකර මහජන අනුමැතියට දින 30 ක කාලයක්‌ ලබා දිය යුතුයි. ඉන් පසුවයි අනුමැතිය ලබාදීම හෝ නොදීම කළ යුත්තේ. මෙම අනුමැතිය ලබාදීම සඳහා අනුමත කිරීම් ආයතනය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතන දෙක එකතු විය යුතුයි. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක පාර ඉදිකරන නිසා මධ්‍යම පරිසර අධිකාරිය සමග වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එකතු විය යුතුයි. අපි දන්නා අන්දමට මධ්‍යම පරිසර අධිකාරිය පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කරන්න මූලික තීරණයක්‌ ලබාදී නැහැ. ඒ නිසා ජාතික පාරිසරික පනතේ 2සී කොටස හෙවත් 4 ඇ කොටසට අනුව පාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය නීති විරාaධී ව්‍යාපෘතියක්‌ බවට පත් වෙනවා. මෙවැනි අවස්‌ථාවක ජාතික පාරිසරික පනතේ 24ඒ වගන්තිය යටතේ මේ කටයුත්ත නැවැත්වීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක්‌ තිබෙනවා. 24බී වගන්තිය යටතේ ප්‍රදේශයේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරල අධිකරණ නියෝගයක්‌ මගින් තහනම් නියෝගයක්‌ ලබා ගන්න මධ්‍යම පරිසර අධිකාරියට බලයක්‌ තිබෙනවා. මෙයට පූර්වාදර්ශයක්‌ ලෙස මෙයට යාබද ඉඩමක්‌ තිබෙනවා නිල්දෙනිය වත්ත කියල. 2004 පෙබරවාරි මාසේ මේ ආකාරයට නීතිවිරෝධීව එළිපෙහෙළි කළා. එවකට සිටි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ජාතික පාරිසරික පනතේ 24 බී වගන්තියේ පළමු වගන්තිය යටතේ නියෝගයක්‌ නිකුත් කරල පැය 24 ක්‌ ගත වීමටත් පෙර අධිකරණ නියෝගයකින් තහනම් කළා. අදත් ඒ නියෝගය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ පාර ඉදිකිරීමේදීත් උපරිමයට ක්‍රියාකිරීමේ හැකියාව මධ්‍යම පරිසර අධිකාරියට තියෙනවා. බලතල තිබියදීත් නිහඬව සිටීම කනගාටුවට හේතුවක්‌. ලැබෙන නවතම තොරතුරු අනුව මේ පාර ඉදිකරන්නටත් සංචාරක ව්‍යාපාරය සඳහා හෝටල් ඉදිකරන්නටත් දැනටමත් සූරියකන්ද ප්‍රදේශයේ පරණ වතු බංගලාවක්‌ සංචාරක නවාතැනක්‌ සඳහා නවීකරණය කරගෙන යනවා. මෙයින් පැහැදිලි වෙනවා. මේ පාර ඉදිකිරීමේ අරමුණ මොකක්‌ද කියලා යනුවෙන් පැවසීය.


සැප්තැම්බර් මස 15 වැනිදා මධ්‍යාහ්නය පසුවී පැවැති මෙම පරිසර සංගම් එකමුතුවේදී ඒ මහතා කරනලද ප්‍රකාශයෙන් පසු, 15 දා පරිසර අමාත්‍යාංශය මගින් මාධ්‍ය නිවේදනයක්‌ නිකුත් කළේය. ඒ මගින් ප්‍රකාශ කෙරුණේ ආන්දෝලනයට තුඩු දුන් සිsංහරාජ ලෝක උරුම වන භූමිය ආශ්‍රිතව මාර්ග සංවර්ධන කටයුතු වහාම අත්හිටුවන්නැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා දැනුම් දෙන බවයි. මෙම ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් කරුණු ද 13 දා නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු ද බොහෝ සෙයින් එකිනෙක ගැලපෙන ස්‌වරූපයක්‌ ගත්තේය. මේ පිළිබඳ එක්‌ මාධ්‍යවේදියකු අප වෙත කියා සිsටියේ ජගත් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශයේ ම කරුණු ගෙන මෙම මාධ්‍ය නිවේදනය සකස්‌ කර ඇති බවයි. කෙසේ හෝ ඒ මගින් මෙම නීතිවිරෝධී මාර්ගය ඉදිකිරීම තහනමට ලක්‌කර ඇති බවට පරිසර ඇමැතිවරයා ප්‍රකාශයට පත් කිරීම වැදගත් කාර්යයක්‌ විය. එම මාධ්‍ය නිවේදනය මෙසේය.


ආන්දෝලනයට තුඩු දුන් සිංහරාජ ලෝක උරුම වන භූමිය ආශ්‍රිතව මාර්ග සංවර්ධන කටයුතු වහාම අත්හිටුවන්නැයි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සියලු පාර්ශ්වයන්ට සෘජුව දැනුම් දෙයි.


මෙම යෝජිත මාර්ගය සිංහරාජ වනාන්තරයේ ඒකග්‍රතාව කඩ කරමින් සිංහරාජ වන සංකීර්ණය දෙකඩ කිරීමට හේතු විය හැකි බැවින් අමාත්‍යවරයා මෙම තීරණ ගත්තේය. සිංහරාජ වනාන්තරය ආශ්‍රිත සෙසු සංරක්‍ෂිත වන කලාපය හරහා සංවර්ධනය කිරීමට යෝජිත (ඉළුඹකන්දේ සිට සූරියකන්ද දක්‌වා) කි. මී. 7 ක්‌ පමණ දිග මාර්ගයේ සියලු සංවර්ධන කටයුතු මේ අනුව වහාම අත්හිටුවන්නැයි දැනුම් දී තිබේ.


2004 වසරේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාවට අයත් සිංහරාජ වනය අවට පිහිටි භූමිය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා කැබිනට්‌ පත්‍රිකාවක්‌ යොමු කර තිබිණ. වාර කිහිපයකදී එය පවරා ගැනීම සම්බන්ධ බාධා පැවතියත් මීට නොබෝ දිනකට පෙර මේ සඳහා ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාව අවසර දී ඇත. එම ප්‍රදේශ හඳුනා ගනිමින් අදාළ ප්‍රදේශය වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා කටයුතු කරන්නැයි වන සංරක්‍ෂණ ජනරාල්වරයාට අමාත්‍යවරයා අද (15) උපදෙස්‌ දුනි. මෙම පවරා ගැනීමට අදාළ ගැසට්‌ පත්‍රය සහ කැබිනට්‌ පත්‍රිකාව වහාම සකසන ලෙසද අමාත්‍යවරයා වන සංරක්‍ෂණ ජනරාල්වරයාට වැඩිදුරටත් උපදෙස්‌ දුනි.


පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් මෙසේ මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනය පිළිබඳව කිසිවක්‌ නොදැන සිටි අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා 15 වැනිදා සවස පැවැති කැබිනට්‌ තීන්දු දැනුම්දීමේ සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු සපයමින් කියා සිටියේ යෝජිත ඉළුඹකන්ද සූරියකන්ද මාර්ගය සඳහා රජයේ සම්බන්ධතාවක්‌ නැති බවයි. එය කලවාන සංවර්ධන කමිටුවේ තීරණයක්‌ බවද ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිත වී ඇති බවද හෙතේම පැවසීය. එහෙත් එහිදී මෙම මාර්ගය ඉදිකිරීමේදී සිංහරාජ වනාන්තරයට සිදුවන බලපෑම හෝ එය නැවැත්වීමට රජය අවධානය යොමු කර ඇති බවක්‌ ප්‍රකාශයට පත් නොවිණි. එබැවින් පරිසර අමාත්‍යවරයාගේ ප්‍රකාශය හා මෙම ප්‍රකාශය නොගැලපෙන බව අමුතුවෙන් කිව යුත්තක්‌ නොවේ.


සිංහරාජ වනාන්තරයේම ජෛව විවිධත්ව වටිනාකම් සහිත මෙම ඉඩම් සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සම්බන්ධව පවතී. එවන් විටෙක, මේ වනාන්තරය ඔස්‌සේ මාර්ගයක්‌ ඉදිවීම නීතිවිරෝධී කටයුත්තක්‌ වන අතර, පැහැදිලිවම මෙම මාර්ගයේ අරමුණ වනාන්තරය මේ මගින් දෙකඩ කර සමාගම් හා වෙනත් පෞද්ගලික අවශ්‍යතා මත කොමිසම් සභාවෙන් පවරා ගැනීමට නියමිත ඉඩම් සඳහා ප්‍රවේශ මාර්ග සකසා ගැනීමත්, ඉඩම් බෙදා ගැනීමත් බව පරිසරවේදීහු පෙන්වා දෙති.


ඉළුඹකන්ද - සූරියකන්ද යෝජිත මාර්ගය කළවාන සංවර්ධන කමිටුවේ අවශ්‍යතාවක්‌ හා යෝජනාවක්‌ බව කියයි. මෙම මාර්ගය සැකසීම සඳහා මංගල පස්‌ පිඩැල්ල කැපුණේ ද, මෙම මාර්ගය සැකසීමේ පුරෝගාමී කාර්යභාරය සිදු කරන්නේද කලවාන ආසන සංවිධායක හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්‌කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙනි. ඔහු මෙම යෝජිත මාර්ගය පිළිබඳව මාධ්‍ය හා පරිසරවේදීන් දක්‌වන මතය පිළිබඳව අදහස්‌ දැක්‌වීමේ අවශ්‍යතාව අපට මතුකර සිටියේය. ඒ අනුව ඔහුගේ අදහසටද අපි අවස්‌ථාවක්‌ ලබා දුන්නෙමු. මේ වක්‌කුඹුර මහතා ඉළුඹකන්ද මාර්ගය ගැන ද සිංහරාජය ගැන ද කියන කතාවයි.


මේ හදන පාරෙන් සිංහරාජයට කිසිදු හානියක්‌ සිදු වන්නේ නෑ. සිංහරාජ වනාන්තරයට හානියක්‌ සිදු වෙන ක්‍රියාවක්‌ කලවානේ සිදු වෙනවා නම් ඒකට පළමුවෙන්ම ඉදිරිපත් වෙන්නේ මම. මීට කළිනුත් මම එහෙම දේවල් කරල තියනවා. අනික අපි ඉළුඹකන්ද ඉඳන් සුරිය කන්දට පාරක්‌ කපන්නෙත් නෑ. මේ හදන පාර හඳුන්වන්නෙ පොතුපිටිය කැකිල්ලපිටිය ඉළුඔකන්ද බම්බුමලේ පාර කියල. අපි පාර හදන්නෙ බම්බුමලේට විතරයි. කලවාන ප්‍රාදේශීය සභාව 1991 වසරේදී කිලෝමීටර් 13.4 ක්‌ දිගට හා අඩි 20 ක්‌ පළලට මේ පාර හදන්න ගැසට්‌ කරල තියෙනවා. මේක තිබුණු පාරක්‌. සිංහරාජයට අයත් වෙන්නේ නෑ.


සිංහරාජ වනාන්තරයට පවරා ගැනීමට නියමිත අතහැර දමා ඇති රජයේ එනසාල් වත්තට මේ බම්බුමලේ සිට කොතරම් දුරක්‌ තිබෙන්නේ දැයි අපි මන්ත්‍රීවරයා ගෙන් ප්‍රශ්න කළා. ඔහු කියා සිටියේ ඒ සඳහා ඇත්තේ කිලෝමීටරයක්‌ තරම් දුරක්‌ බවයි. සුරියකන්දේ සිට මේ එනසාල්වත්ත දක්‌වාත් අතීතයේදී අඩි 20 ක පාරක්‌ තිබූ බවත්, පාළමක්‌ සහ බෝක්‌කු පහකින් සමන්විත ඒ අබලන් මාර්ගය තවමත් පවතින බවත් වක්‌කුඹුර මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය.


බම්බුමලේ ගම්මානයේ කොතරම් පවුල් සංඛ්‍යාවක්‌ දිවිගෙවන්නේ දැයි අප කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු කියා සිටියේ දැන් එහි දිවිගෙවන්නේ පවුල් 7-8 ක්‌ බවය. වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ වක්‌කුඹුර මහතා 1961 වසරේදී කොළණි ක්‍රමයට බබ්බුමලේ අක්‌කර 2 බැගින් වගාකිරීමට හා අක්‌කර භාගය බැගින් නිවාස තනා ගැනීමට ලබාදී එහි පවුල් 65 ක්‌ පදිංචි කළ බවයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ ගම්මානයේ පදිංචි ජනතාව ඉන් ඉවත් වී දිවිගෙවන බවත් ඊට මාර්ග අපහසුතාව දැඩිව බලපෑ බවත් ප්‍රකාශ කළේය.


ඔබ ප්‍රදේශවාසියෙක්‌ විදිහට සිංහරාජ වනාන්තරය රැක ගැනීම පිළිබඳව දක්‌වන්නේ මොනවගේ අදහසක්‌ද? පවරාගැනීමට යෝජිත එල්. ආර්. සී. ඉඩම් සිංහරාජයට පවරා එම වනාන්තරය පුළුල් කිරීමට ගන්නා උත්සාහයට ඔබ සහාය දෙන්නට කැමැතිද? යනුවෙන් අප මතු කළ පැනයට පිළිතුරු ලබාදුන් වක්‌කුඹුර මහතා කියා සිටියේ මෙවන් කතාවකි.


එනසාල් වත්ත ගන්නවා කිව්වට තවමත් එල්. ආර්. සී. එක ඒකට අනුමැතිය දීල නැහැ. නමුත් මේ වත්ත පවරාගන්නවාට මම විරුද්ධ නැහැ. ඉළුඹකන්දවත්තත් කැලෑවක්‌ බවට පත්කරළ පවරාගන්නයි වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අදහස්‌ කරන්නේ. නමුත් දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා හරහායි එය කළ යුත්තේ. එවන් අනුමැතියක්‌ තවමත් නැහැ. කොහොමහරි සිංහරාජ වනාන්තරය පුළුල් වෙනවා නම් අපේ අකමැත්තක්‌ නැහැ. හැබැයි පළමුව කළ යුත්තේ සිංහරාජයට යාව තිබෙන කොළඹ ලොකු ලොක්‌කන්ගේ ඉඩම් පළමුව පවරා ගත යුතුයි. ඒවගේ අක්‌කර දෙතුන් සීයේ පෞද්ගලික වතු සිංහරාජයට යාවෙලා තියෙනවා. ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ වක්‌කුඹුර මහතාගේ අදහසයි.


කෙසේ හෝ බබ්මුමලේ දක්‌වා වුවත් ඉදි වන මෙම මාර්ගය තවත් එක්‌ කිලෝමීටරයක්‌ (එනසාල්වත්ත හරහා) දිගු කිරීමෙන් පැරණි එනසාල්වත්ත සුරියකන්ද මාර්ගයට යා කිරීම පහසු කටයුත්තකි. එය එසේවීම මගින් බෙරගල යෝජිත රක්‍ෂිතය සිංහරාජයෙන් වෙන්වන අතර, සිංහරාජය පුළුල් කිරීමේ ක්‍රියාදාමය ඇනහිටීමේ අවස්‌ථාවට එයම හේතුවකි. එබැවින් පැහැදිලි වන්නේ යෝජිත මාර්ගය තවදුරටත් ඉදිනොවිය යුතු මාර්ගයක්‌ සේ නැවත නැවතත් සපත කරන්නට අපට සිදුව ඇති බව නොවේද?

http://www.divaina.com/2011/09/25/feature14.html

No comments:

Post a Comment