Friday, September 23, 2011

ඉන්දියාවේ සිට හොරෙන් මුහුදු කූඩැල්ලන් ගෙනා 4 දෙනා දැලේ

රේගුව යාපනේ වැඩ අල්ලයි


ප්‍රභාත් විතාන

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට බෝට්‌ටුවකින් මෙරටට ගෙන එමින්a සිටි මුහුදු කූඩැල්ලන් තොගයක්‌ හා පුද්ගලයන් හතර දෙනෙකු කන්කසන්තුරය නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා පෙරේදා (21 වැනිදා) යාපනය රේගු කාර්යාලයට බාරදී ඇත.

කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් කෝවිලම් බොක්‌ක ආසන්න මුහුදේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙද්දී ඉන්දියානු බෝට්‌ටුවක සිට මෙරට බෝට්‌ටුවකට මෙම මුහුදු කූඩැල්ලන් තොගය පටවමින් සිටින අයුරු දැක ඇති අතර පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් තොගය කිලෝ 1000 ක්‌ වන බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 25 ක්‌ වන බවත් රේගු අධිකාරි ප්‍රියන්ත සපරමාදු මහතා දිවයිනට පැවසීය.

යාපනය රේගු කටයුතු ආරම්භ කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් පළමු භාණ්‌ඩ තොගය මෙය බවත් වසර 28 කට පසු යාපනයේ රේගු කටයුතු ආරම්භ කළේ පසුගිය ජනවාරි මාසයේදී බවත් සපරමාදු මහතා කියා සිටියේය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම මුහුදු කූඩැල්ලන් තොගය හා බෝට්‌ටුව රාජසන්තක කළ බවත් පුද්ගලයන් හතරදෙනාට රුපියල් තුන්ලක්‍ෂ පන්දහසක දඩ නියම කළ බවත් ඒ මහතා කියා සිටියේය. නියෝජ්‍ය රේගු අධිකාරි අනුර දිසානායක, රේගු අධිකාරි ප්‍රියන්ත සපරමාදු, සහකාර රේගු අධිකාරිවරුන් වන ඒ. එස්‌. බාලසූරිය හා බී. වී. මුදිත යන මහත්වරු විසින් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන ලදී.

No comments:

Post a Comment