Thursday, February 2, 2012

දැඩි නියඟය නිසා ඇහැලියගොඩ ජල ප්‍රශ්නය උග්‍රවෙලා

පාසල්, හෝටල් හා වෙළෙඳ සල් වැසෙන ලකුණු

ඇහැලියගොඩ - උපාලි ප්‍රේමතිලක හා කො.ආ. ගුණසේකර

දැනට පවතින දැඩි නියඟය නිසා ඇහැලියගොඩට මෙතෙක්‌ නොපැවැති ජල හිඟයකට මුහුණ දීමට සිදුවී තිබේ.

මේ නිසා නගරයේ පාසල්, හෝටල් හා වෙළෙඳ සල් වසා දැමීමේ අවදානමකට මුහුණදී තිබේ.

නගරයට ජලය සපයන "බිසෝ දොළ" ජල යෝජනා ක්‍රමයෙන් අඟල් 1/2 බටයකටවත් ප්‍රමාණවත් ජලය නොසැපයේ.

පසුගියදා පැවැති "ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට පැමිණි ජල සම්පත් මණ්‌ඩලයේ ස්‌ථාන භාර නිලධාරියා කියා සිටියේ දැන් වතුර අක්‍රියයි. කලින් දිනකට වතුර ඝන අඩි 1,400 ක්‌ පිරිසිදු කළා. දැන් ඝ.අ. 200 ක්‌ වත් ගලන්නේ නැහැ. ලීටර් 50,000 ටැංකිය පුරවන්න පැය 24 ක්‌ යනවා. වතුර ඇරපු ගමන් විනාඩි 15 න් ටැංකිය හිස්‌ වෙනවා යනුවෙනි.

මේ වන විට ඇහැලියගොඩ ජල සම්පත් හා ජලාපවහන මණ්‌ඩලයේ කාර්ය මණ්‌ඩලය කලින් අත්හැර දමා තිබූ "කොන්විල් පිහිටි පැරැණි ජල යෝජනා ක්‍රමය පණ ගන්වන්නට වෙහෙසෙති. එහෙත් එහි ජලය මළකඩ රසැති බැවින් ජනතාව එම ජලය පානයට අකමැතියි. ඇහැලියගොඩ ජල අර්බුදය වඩාත් බලපා ඇත්තේ ඇහැලියගොඩ රෝහලට සහ රෝගීන්ටය. ඒ පිළිබඳව දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරී ඩී. ඒ. සෙනෙවිරත්න මහතා දරන්නේ වෙනත් මතයකි.

ඇහැලියගොඩට තියෙන හොඳම ජල සම්පත තියෙන්නේ "හුලන්ගස්‌දළුව" උල්පතේ. කවුරුවත් ඒ පිළිබඳව තක්‌සේරුවක්‌ කරලා නැහැ.

ඇහැලියගොඩ රෝහලට ආරම්භයේ සිටම ජලය ලබා ගත්තේ හුලන්ගස්‌දළුව උල්පතෙන්. වසරක පමණ සිට ඉන් ලැබෙන ජලය නැත්තටම නැති වුණා. උල්පතේ සිට යොදා තිබූ නළ උඩින් නිවාස තැනීම හා නළ දිරා යැම නිසා ජල නළ මාර්ගය අබලන් වෙලා.

මරණ පරීක්‍ෂණ අවස්‌ථාවලදී ඥතීන්ට ගෙදරින් ජලය රැගෙන එන්න වුණා. මේ නිසා මට ලැබුණ උපදෙස්‌ අනුව රෝහල් ඉඩමේ ළිඳ පිළිසකර කර ජල සැපයුම සකස්‌ කිරීමට ප්‍රා.ලේ. මගින් ඇස්‌තමේන්තුවක්‌ ලබා ගත්තා. එහි වියදම රුපියල් ලක්‍ෂ නවයක්‌. නමුත් එම මුදල කාගෙන්වත් ලැබුණේ නැහැ. 2011 අගෝස්‌තු සිට උත්සාහ කළත් බැරි වුණු නිසා කාර්ය මණ්‌ඩලයේ සහයෝගයෙන් පැරැණි නළ මාර්ගය සකස්‌ කර ගත්තා. කොයි මොහොතේ එය නතර වේවිද දන්නේ නැහැ.

"හුලන්ගස්‌දළුව" ජල උල්පතේ ධාරිතාව මුළු ප්‍රදේශයටම ප්‍රමාණවත් බව ජල සම්පත් මණ්‌ඩලය පවසනවා. මේ වෙනකොට "බිසෝ දොළ" වේළිලා ගියත් "හුලන්ගස්‌දළුව" උල්පතේ පිටවීම ඒකාකාරීව සිදුවෙනවා. නගරයේ ජල ප්‍රශ්නයට හොඳම විසඳුම ජල සම්පත් මණ්‌ඩලය සකස්‌ කර ඇති "හූලන්ගස්‌දළුව" ජල යෝජනා ක්‍රමය කඩිනම් කිරීමයි.

උදාවී ඇති තත්ත්වය අනුව ආපදා අවස්‌ථාවක්‌ සේ සලකා උසස්‌ නිලධාරීන් සමග සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙළක්‌ යොදන බව මේ පිළිබඳ විමසූ අවස්‌ථාවේදී ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් ශාන්තිනී විජයරාජ මහත්මිය "දිවයින"ට පැවසුවාය.

ඊයේ (01 දා) සිට බවුසර් මගින් ප්‍රදේශයේ ජලය බෙදා හැරීමට කටයුතු යොදන බව ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක මහතා "දිවයින" සමග පැවසීය.


http://www.divaina.com/2012/02/02/news21.html

No comments:

Post a Comment